ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කම්පන තාල

කම්පන තාල

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2022-March

සිසිල් දිය රළ අතර පිහිනා
ලෝල බස් ඉඟි මරා කියනා
මින් රැන් ගී ගයන දියඹට
ඉහළ හිරුගේ කිරණ සරනා
සොබා දම් වීණාව නද දෙන
ලොවේ පිළිහුඩු හඬද ඇසෙනා

පිච්ච අරලිය නා මලින් පිරි
වන අරණ විහිදන සුවඳ මැද
දොළක සිලි සිලි හඬින් පිබිදී
පිපී සුවඳින් සුළඟෙ වැනෙනා
ඕලු මහනෙල් නෙළුම් අතරේ
ගිඩාරන් මල් ගඳත් දැනෙනා

හදින් හිනැහී දුක දරාගෙන
කෘස දරුන් ඇකයේ ගසාගෙන
දැත් කරගැට පැලී ලේ එන
සමාජය නගනා කෙඳිරි මැද
වාසලේ මන්දිරේ නටමින්
සවන් කම්පන තාල වයනා

සා පැටව් මුව පැටව් කෙළිනා
බටිචි ලිහිණින් නළා වැයෙනා
හරිතබඩ සිසිලසම ගලනා
දොළේ ගඟුලේ වැවක සයුරේ
ගෙඹිද ඉබි මින් රළ හඬද්දී
උකුස්සන් නුබ ගැබේ සරනා