විශේෂඥ වෛද්‍ය ඩබ්.ඒ. සුසන්ත ද සිල්වා

2023 ජනවාරි කලාපය

අම්මා............

දහදුක් වින්දෙ අම්මේ දරුවන් වෙනුවෙන්
දරුවන් නව දෙනෙක් බිහිකර උන් වෙනුවෙන්
ඔබ හිත රිදවුනත් උන්ගේ හැසිරීමෙන්
ඔබ අග රැජිනියයි අප දිවියේ නිතැතින්

දස මාසයක් කුසයේ දරමින් උන්නා
හැම ගැහැටක්ම විඳිමින් මෙලොවට දුන්නා
ලේ කිරි කරල නව දෙනෙකුම රැක දුන්නා
රස ආහර උයා කවමින් කල් ගෙවුනා

කැත කුනු අත ගගා දරුවන් ගැන බැලුවා
ලෙඩ වූ විටදි තුරුලට ගෙන සැනසෙව්වා
අකුරට ගොසින් අප එන තුරු මඟ බැලුවා
අප නහවලා පිරිසිදු කර හැඩ බැලුවා

දරුවන් ලොකු මහත් වී වෙන් වෙලා ගියා
සමහරු ඔබට නොකියාමත් යන්න ගියා
දරු සෙනෙහසින් පිරි ඔබ හද දැවී ගියා
එනමුත් හැම දුකක් දරමින් ඔබ සිටියා

ඔබ ලෙඩ ඇඳේ සිටිනා විට දුටුව ගතේ
දැනුනේ කියා ගන්නට බැරි දුකකි සිතේ
අපගෙන් වෙන්වෙලා යන්නට ගිය මොහොතේ
කඳුලැලි ඉතිරුවා අම්මේ අප දෙනෙතේ

කව් ගී ලියැවුණත් ඔබ ගැන මෙනෙහි කර
කවදාවත් නොහැක පවසා නිමා කර
අප හද පත්ලෙන්ම හැම මොහොතෙම නිතර
පතනෙමු මිදී යන්නට සසරෙන් එතෙර

21.12.2022
View Poem