හේමා ඩෙප් - ලන්ඩනය

2022 අගෝස්තු කලාපය

හැදූ මව

මං පුංචි දවස් වල - මගේ පසු පස්සෙන්ම
හිටියෙ මට ලං වෙලා - මගේ ලොකු අම්මාය
ආදරය කරුණාව - වගේ ගුණදම් වලින්
ඇය ඉතා පොහොසත්ය - කියා මට කිවහැකිය
තනිකඩව හිටියාට - ඇයට තනිකමක් නැත

උදෑසන නැගිටලා - මගේ මුව දොවාලා
කිරි ටිකද පොවාලා - ලස්සනට අන්දවා
නලල මැද කළු පාට - තිලකයක් තබාලා
ආදරෙන් සෙනෙහසින් - ඇගේ උකුලට අරන්
මගේ හැඩ බැලූ හැටි - අදත් සිහියට නැගේ

මහන්නට ලස්සනට - කරන්නට ගෙත්තම්ද
ඇගේ මුළු ජීවිතය - හැම අතින් බැබලුනේ
හිතන්නට බැරි තරම් - ඇගේ දස්කම් මතය
ගමේ පොඩි කෙල්ලන්ට - ගවුම් පොඩි මසාලා
අන්දවා හැඩ බලා - විදි සතුට අපමණයි

මා ඇගේ මැණික යැයි - සැම විටම පවසලා
මගේ මුව සිප ගත්තෙ - ඇගේ මුළු ලෝකයම
මා මිසක් වෙන කෙනෙක් - නොවන බව කියමින්ය
මා ඇගෙන් ලබාගත් - සෙනෙහසක මහිමයද
මගේ මුළු හදවතෙහි - සදාකාලිකව ඇත

සෑම මසකට වරක් - බුදු සමිඳු ඉදිරියේ
මල් පහන් දල්වලා - සීලයක පිහිටලා
අපේ හදවත් වලත් - ගුණ දහම් පුරවන්න
මහත් ආසාවකින් - ජීවිතය කැප කලේ
ඇගේ මුළු හදින් බව - මගේ සිහියට නැගේ

කුස්සියේ පාලනය - ඇගේ තනි මතයටයි
සේවකයො පිරිසගෙන් - ලබන සහයෝගයයි
ඇගෙ අතින් නිමවෙන්නෙ - රසම රස බෝජනයි
ඇගෙ අතින් බත් කවා - මිස මාව සනසන්න
මගෙ මවට ඉඩ නොදෙයි - අයිතිකරු ඇය කියයි

මා කොතෙක් කෑවත් - හොරෙන් ඇය ළඟ ට ගොස්
ඇගේ බත් පිඟානෙන් - මම කටක් නොකෑවොත්
මගෙ බඩට මදි බවක් - හැමදාම දැනී ඇත
ඒ ඇගේ ආදරය - මට ලැබුණ සම්පතයි

කොහෙ ගියත් ඇය යන්නෙ - මගේ මුව සිප ගෙනය
දඟ නොකර ඉන්න යැයි - සෙමින් මතුරා ගෙනය
මා කරන හොර වැඩත් - අම්මාට නොකියන්න
වග බලා ගත් මගේ - එකම යෙහෙළිය වුනේ
මගේ ලොකු අම්මාය - මා හැදූ අම්මාය ....
View Poem