මිනිසත් ගුණ නැති

කලාභුශන කිවිපති ඩබ්ලිව් කේ සරත් විමලසිරි
කලාභුශන කිවිපති ඩබ්ලිව් කේ සරත් විමලසිරි
2021-November

සන්තානයේ දුක් දොම්නස් පුරෝගෙන
දිය දැක දුවන මිරිඟුව දෙස බලාගෙන
නිස්කාරණේ උමතුව සිල් මුදෝගෙන
සංසාරයේ කිමැ සම්පත් බදාගෙන

පන්සල් වෙහෙර දාගැබ් ළග දෙදණ නැමූ
සිල්වත් බවම පෙන්වන දන සුගුණ දැමූ
විල් මල් සුවඳ වුව නොවිදින දසත හැමූ
කල්පය නිමවුණිද ඇත නෙත් කදුළු තෙමූ

සුවිසල් මැදුරු තුළ කාලය ගෙවන්නේ
මදුමල් සුවඳමය නිරතුරු දැනෙන්නේ
තනි මංසලේ මවුපියෝ දුක් විදින්නේ
අග හිග එමට ඇත නෑ නොවැ පෙනෙන්නේ

උරුමෙන් උරුම වුණු සොච්චම් බිම් අගලත්
සින්නව ගොසිනි දරුවන් වෙනුවෙන් රැකගත්
අඳයෙන් ලැබුණු වී ටික, නැති සද කුඹුරත්
මවුපියෝ ඇතැර ගොස් අද බිවු කැඳ හැළියත්

ලොවටම මහන්තත්වය පෙන්වනු රිසියෙන්
මහදන් පුදන අට පිරිකර අඩු වැඩියෙන්
දූ දරුවන් වෙසෙන ලෝකෙක ධන බලයෙන්
කවදා මිනිස් ගති මතුවේවිද දිවියෙන්

බැසවිත් සදළු තලයෙන් ඉඳහිට වුවද
සිගමන් යදින අම්මා දුටුවද දුවද
නුදුටුව ලෙසින් ආපසු යන සද, සඳද
පුර පෝ දිනේ බබළයි දෝ වී සබද

දින දින තැනේ තැන තැන වැඩිහිටි අසපු
තෙවලා දහම් පිරි සිරිලක ලොව දිනපු
ලේ කිරි කර පෙවා, ගුණයටවත් හදපු
නොතකන දරුවනේ කොහි යනු සැප විදපු

දැන හදුනා නොගෙන කුස හොත් දොවේ සිට
පණ මෙන් සුරැක හැදු වැඩු රන් මලක් කොට
අණ වින නොකොට නොපෙනෙන සේ ලොවට හෙට
කණ වැල ඇල්ලුවත් පවු නැත ගෙනත් ගෙට