නයනශාන්ති දිසානායක

2024 ජුනි කලාපය

යන්න බෑ 'රට' ...

මට මා ද හිමි නොවූ මොහොතක
මා නමින් මට හිමි ව උන්
මේ වූ.. ගහ කොල මේ වූ මල් ඉති
මේ සුළඟ .. ගෙන ආ පවන්
මා නමට ඇද හැළුන මහ වැසි
දෝර ගැළු දා මා දරන්
පායාපු ඉර එක්ක ටික ටික
හිත හැදු ඒ රැස් සහන්
අතැ'ර දා මේ හැම හිනාවන්
දමා ගොස් දුර ගත අරං
රටක තනි වී මා නිවෙම් වි ද
අතැ'ර මාගේ හද සුසුම්.....

හිතම රිදවන විඩා දනවන
හේතු මත දියවෙන සවි
කඳුළු පිස දා දිරිය රදවා
හෙටක් ගැන සිත ඉව කෙරී
නුහුරු නුවරක ඉසුරු සැප යස
ඇතැයි කියවෙන රස වැකි
හීන විකුණා ලාබ සොයනා
කච්චපුටලත් හිඟ නැති

මලක පිණි මත සඳක රැස් මත
හුරු සුවඳ තැවරී ඇති
ගැහෙන හදවත නතර වෙන තුරු
හුස්ම මේ පොලවම යදී
කාසි කොල වල නොලී උණුහුම
මේ කොහේ හෝ ඇතුවැ'ති
හැපී මේ මත සොයා ගනු මිස
යන්න බෑ 'රට' .......
හිත, ගතින් ආපසු අදී

Photo credit; Diana Parkhouse
View Poem