ෂර්මිලා බංදුනී දංවත්ත

2023 ඔක්තෝබර් කලාපය

ආවෙ අද මම......යන්නමයි රැල්ල එක්කම

ආවෙ අද මම.......
යන්නමයි රැල්ල එක්කම

මොනතරම් නම් සැඳෑවන්
ගෙවී යන්නැති ද මේ වෙරලත
මොනතරම් නම් පාට පාටින්
සාරි ඇන්දා ද අහස
මගේ සාරි පොට
ගෙල වටා ඔතාගෙන
සිසිල සෙව්වා මතකද
රවා බලමින් රාස්සිගේ අව්වට

මොනතරම් නම් මාලිගා
හදා දුන්නා ද
ඔබ මට වැලි මත
මමත් ඔටුනු පැළඳුවා
පෙණ කැටිති මත
සෝදාගෙන යන රැල්ල
ආවා....පමා වෙලා තව
එතකොටත් ගිලිලා
කරවටක්.....මම

සැබවින්ම මාලිගා තැනුවා
ඔබ මට නොදැනෙන්න
ගල්... වැලි.... බදාම
හයියයි හොඳට පාදම
නැව් නැග්ග කුමරියක්
එනවා ඔටුන්නට එතරින්ම

කුවේණිට විජය හමුවුණෙත්
මේ වෙරළෙම
බැහැ තවත්
දිසාලලා....
ජීවහත්ථලා.......
පරපුරක් තන්නට
එල්ල වන්නට පෙර
නින්දාවේ කඩුපත

ආවෙ අද මම.........
යන්නමයි රැල්ල එක්කම
View Poem