ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි සිව්වන වෙළුම

2024 අගෝස්තු කලාපය

දළ ඇත්තු, නොවු පුත්තු - තනි අතින් රැක ගත්තු බලවත්තු, ඉඳ ගත්තු - මහ පුටු ද දැන ගත්තු මනුසත්තු, හද පත්තු - සැණකෙලිය සිරි ගත්තු බල ඇත්තු, දණ ගැස්සු - තනි කෙනෙර අතපත්තු
පද පෙළ- බියංකා කුමාරසිරී

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

සැප්තැම්බර් කලාපය සඳහා ජනාධිපතිවරණය/අපේක්ෂකයින් පිලිබඳව කවියක් ලියා එවන්න.
ඔබේ නිර්මාණ [email protected] වෙත යොමු කරන්න

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

2024 අගෝස්තු කලාපය

කියපං මචං?

මිතුරා 01

පල්ලිය ලඟ ගුරු ගෙදරට යන පාර
වනමල් පිපී ඇත දෙපසම සරු සාර
මිතුරෙකු වෙසෙයි එහි තනියම විරූ සූර
කවියෙන් පුදමි ඔබ හට මම උපහාර

විරහව පිරුණු උවනට කැදවමින් සිනා
කවුදෝ ඇවිත් හොරහින් හදවතම දිනා
සතුටින් සිටින මිතුරා දැක ගියෙමි පිනා
කියපං මචං කවුරුද? ඒ මිහිරි කෙනා

මිතුරා 02

අන්තර් ජාලයේ ටික්ටොක් ගිය දිනයක්
දුටුවෙමි ලියක් එහි ඇත අමුතුම පිරියක්
ඇය මගෙ වෙන්න සිතමින් පෙම් සිතුවිල්ලක්
මිතුරෙකු ලෙසින් තැබුවෙමි මම පණිවිඩයක්

මිතුරා 01

සංචාර සංසාරයේ හමුවුණු පෙම් යුවළක්
දින දින ගෙවිලා ලංවී ඇත හදට හදක්
ජිවිත වලට එක්වීලා නොතිබි හැඩක්
සුන්දර පෙමට නොවදීවා ඇසක වහක්
View Poem

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

2024 අගෝස්තු කලාපය

ස‍ඳ කුමරිය එදවස නිකිණි.............

සඳ කුමරිය එදවස පොහොදා නිකිණි
දුටුඅසිරී මැවුණා කවි සිතට මෙසේ............

සමයක් නිසා වැසි වැඩි මතු තුන්මාසේ
රුක්මුල් අසල ඇතිවන සීතල දැඩිසේ
අපහසු නිසා කරනට බණදම් රිසිසේ
එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ

පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ
මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල
පසුවස් වසන්නට පොහොදින විසුල
නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ

ලලාට ධාතුව අපේ ගෞතම බුදුහිමිගේ
තැන්පත් කරවන්න මත්තෙහි ලක්මවගේ
ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ
වැඩ ඇරඹුනේ නිකිණි පොහොදා ඈත යුගේ

දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි
මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි
ලැබුවේ රහත්භාවය බිඳ සසර බැමි
නිකිණි පෝයදා මහ ආනන්ද හිමි

ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන්
තෙමසක් ගෙවුණුදා මහ කසුප් තෙරුන්
මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන්
නිකිණි පෝයදා කළේ සංඝායනේ මුලින්

සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර
එළඹුණු වස් සමයෙ එකුන් පසලොස් වසර
අසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර
ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර
View Poem

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

ඒරියා 51

විශ්වයේ කෙළවරක
ඔහේ පාවී තිබෙන
ලෝක අතරින් පැවති
එකම එක ලෝකයක්...

පිය වදන් තෙපලනා
ස්වේත වර්ණය හඳින
ගෙල වටේ මල් පැළඳි
අමුතු මිනිසුන් කැලක්...

දිවා රෑ බණ අසන
ඒ වදන් පිළිපදින
ජීවියක් නොමරණා
හරි පුදුම ජාතියක් ...

රටවලට බෙදී නෑ
නායකයෙකුත් නෑ
ජාතිවාදයක් නෑ
ආගම් ද බෙදී නෑ....

වෛරය දන්නෙ නෑ
දුක කියා දෙයක් නෑ
සතුට සැනසුම මිසක
වෙන දෙයක් එතැන නෑ...

රූප ශ්‍රීයෙන් සුසැඳි
අමරණීය ව වසති
කෑම බීමට වඩා
භාවනා යෝග වෙත්...

නම් ගම් ද වෙනුවට
වෙනම සටහන් ඇති
ලද දෙයින් සතුටු වන
අරුමැතිම ලෝකයක්...

සත්‍යාවබෝධයෙන්
මරු පරාජය කරන්
තම සිතම ලෝකයම
ජය ගත්ත ජාතියක්

හෙට එනවා ඒ ලොවෙන්
එක් අයෙක් මේ ලොවට
මගේ වැඩ බිම වනා
ඒරියා 51 තුළට...

ඔහු සමඟ එහි යන්න
ඇතිලු තව ඉඩ දෙකක්
මම යනවා මැදියමේ
උඹත් එනවද යන්න අපි එක්ක...?
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2024 අගෝස්තු කලාපය

යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

කතා නොකර හිටි දවසට
මුහුණ හංග ගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ සිතට දැනෙනවා
සත්තයි හිතට හැගෙනවා

ගව් සියක් ගෙවා අවසන
ගෙපැල අද්දරම ඇතිවිට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා

එලිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා
View Poem

ආරියරත්න ජයසිංහ මහරගම

2024 අගෝස්තු කලාපය

මම දිසාපාමොක් මනමේ කතාවේ

වස වැරැද්දයි මගෙන් වූයේ
කාටවත් නොකියමි දොසක්

මමත් හිතුවේ රජෙකු හින්දා
කාල ඇඳලා සැපෙන් හිටියැකි
මනමේව බැන්දාම ඇය හට
කියාදෙන්නට බැරිවුනා මට
හැට හතර මායම්ම ඇය හට
කරකාර බන්දන්ට පෙරාතුව

මටත් තිබුනේ මනමෙ කුමරුට
උගන්නන්නට හැමට පළමුව
ආදරේ කරන හැටි ළඳකට
අවි ශිල්ප දුනු ශිල්ප තරමට

යනවිට වන අරණ මැද බිහිසුනු
ගව් ගණන් දුරු මඟ ගෙවා ගෙන
යොවුනෙකු සමගින් නාඳුනන
නව යොවුන් තරුණියක තනි මඟ

ඇයගෙත් දෑස් යන්නැති ඉබේටම
තුරු බඳ වැළැඳි ලියවැල් වෙත
වැදි රජුත් දෑසින් කියන දේ ගැන
ඒත් මනමෙගෙ හිතේ තිබුනේ
රජ කිරුළ ගැනමයි අනාගත

වැද්දටත් බෑ දොසක් කීමට
ඔහු දනී මනමේ නොදත් දේ
දිවි පරදුකොට සටන් වැදුනේ
දත් නිසයි ගැහැනියක හිත ගැන

කාටවත් නොකියමි දොසක්.
View Poem

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2024 අගෝස්තු කලාපය

"ඉතුරු කවි ඔබේ ,මේ කවිය මගේ "

අකුරු ගැලපුම් වලට කියනවලු කවිය
අතුරු ආබාද නැති ආත්මික ඔසුය
සිදුරු හදවත් වලට හීපහර වැඩිය
පතුරු තියමින් බඳින පත්තුවක් වැනිය


මිතුරු බැඳුමක් අතර ඉතුරු
ඉතුරු කවියක් ගෙනෙන ඉසුරු
ඉසුරු හදවත් තුළම පැතිරු
පැතිරු දහමක් බැඳුණු මිතුරු

AnA 2024
View Poem

අනුර හෑගොඩ

2024 අගෝස්තු කලාපය

පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න

බෝ මළුවේ සඳ එළියේ සමාධියෙන් ඉන්න
නෙතේ වරුණ දිදුලන්නට පහන් වැටට දුන්න
ගිය අත්බවේ පින් මදිවුණි ඔබේ සුරත ගන්න
පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න

නිවුණු හඬින් පන්සිල් පද බුදුගෙය තුල පිරිලා
දෙනෙතේ මිණි කාන්තියෙන් බිතු සිතුවම් ඔපලා
දැවුණු සඳුන් තෙල් සුවඳට ඔබේ සුවඳ එතිලා
පුද දෙනකොට මල් තියන්න මගේ ගැනත් හිතලා
View Poem

කෝ ආනන්ද පැරීසිය

2024 අගෝස්තු කලාපය

සඳේ කිරණ හඳ නැන්දා හඳ මාමා ළඟට ගිහින්

හුළු එළියෙන් කුම්පිලාපුවෙ එළියෙන්
පැට්‍රොමැක්ස් එකේ දිස්නෙන්
පුන්පෝදා සඳකිරණින්
ගමේ එළිය දුටු සඳ දරුවන්

හඳ නැන්දගෙ මියුරු හඬින්
ගුවන් විදුලියෙන් පණ ලද්දෝ
ගායනයෙන් වින්දනයෙන්
ලොව ජයගෙන ඇත්තෝ

ගුණ නුවණින් මග පාදා දී
ගනඳුර දුරලා ළමා ලොව දිනා
සදානුස්මරණීය නම රන්දා
හඳ නැන්දා හඳ මාමා ළඟට ගිහින්
ආලෝකය සොයමින්
View Poem

ජන කවියා

2024 අගෝස්තු කලාපය

කොහොම දේකටද 'නැත අගුණේ '

අම්බලම් පාරු පිට සිටිනා ළඳුනේ
රං සලන් ලෙසට ගෝමර පිට දිළුනේ
මං බොලන් එහෙම දේකට නැත අගුණේ
රන් දොඹින් පිටත් වෙනකොට හඳ දිලුණේ
View Poem

බන්දුල කුරුවිටආරච්චි

2024 අගෝස්තු කලාපය

පින්සරු ඇත්තන්ගේ ගීතය

සාර සදිසි වූ කෝල තෙපුලින් සෙනෙහසට සිත සිර කරන්
සුවහසක් මද මාන සඟවා රැගුම් තුරුලට මා අරන්
ආදරය යන අකුරු අතරේ ජීවිතය වත්තන් කරන්
පාරමී දම් පුරන්නට දුන් කදුළු මහවැලි ගඟ තරන්

පැතුම් ඉවකල වරම් අතරට රැවුම් ගෙරවුම් සෙනෙහසින්
ඉකි බිඳින්නට කදුළු දී ජීවිතය බොඳ කල සන්තොසින්
ඉවසුමේ පෙරුමන් පුරන්නට සවිය දුන් ඉරණම විසින්
ලැබේවා ! ජය සතුට පිරි සොඳුරියක් යලි ඒ අනුහසින්

වදන්නට ඉඩ හසර අහුරා උරුම සුන්කල දරු ගැබේ
නොවටිනා පිය පදවියක් දැක රහස් සඟවමි හද ගැබේ
ලදුන් , බිළිදුන් ගැන කථා ඇති උවම් සරුවට මට තිබේ
පිංකමක කොත පලන්දනවද උපාසක සඳ මැති සබේ
View Poem

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2024 අගෝස්තු කලාපය

Made in heaven

Made in England
Germany France or Italy
had high reputation
yes they were really good
high quality and long lasting too

then came made in Japan
started beating everyone
by quality and gimmick
the others started following

However the oldest is
made in heaven

made in England
Germany and Japan
had a few problems only
dependable
Need occasional servicing
when they grow old
and became outdated
are either thrown away
or scrapped.

made in heaven
Is a big problem
it has many issues everyday
but you have to keep it going
It breaks your back
hurts your soul
on occasional fine days
runs beautifully
and the very next moment
it gives immense trouble and pain
but you have no option
cannot throw away
cannot scrap
cannot replace
you try anything
you become an outcast
a kind of pariah
everyone starts pointing fingers
calling names
No escape
This Way or that way
without loads of trouble.

if you buy a good auto
English German or Japanese
you can replace parts
Tyres batteries filters and belts
can make them new
you are ok and fine

Made in heaven
Runs with the original parts
forever
however faulty they are.
The Haven has forgotten
to make replacement parts
makes only complete products
but replacement is not allowed
users when fed up
become smart
find ways to enjoy
complete products
weather the heaven likes it or not

Isn't this trouble for everybody
Why the hell that
heaven started making things
without allowing
the competent people
to do it themselves

04-02-2022
View Poem

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2024 අගෝස්තු කලාපය

සිහින ලොවින්

හිමිදිරියේ ඈතින් ඇසෙන
බට නලා හඬ.....
රහසක් කියයි
මගෙ කණට කොඳුරලා,....
පොත් ටික ලමැදට තද කරන්
මල්ලීත් පෙරටු කරන්
ගමේලමුන්ගෙ පාසල් යන පෙරහැරට
කලබලයෙන් ......ඉදි කඩුල්ල පැන
එක් වුණේ අලුත් දවසක් බලාපොරොත්තුවෙන්
ඒත්.....පෙර දින හද කිති කවමින්
හැම පොත් පිටුවකම .. ..
සුදු ඕලු මල් මිටිය
සුනිමල් අයියා කඩා දුන්
ගමේ පන්සලේ පුජාසනය මත
දෝතින් පුදලා,......
එතෙර ගමනට සුභ පැතුම් පතද්දි.....
බට නලා හඬ .....
නැවත කවදා ඇසේවිදෝ,.....
සසරෙ මා අතරමංවිදෝ,.....
දෝලනය වෙමින් හදේ දොංකාර දෙද්දි
දැසින් ගලා හැලෙන කදුළු බිඳු,.......
දෙකොපුල් දිගේ ගලා විත්...
කනට කියන රහස්....
කාට කියන්නද,......?
නිදි යහනෙ නිදි වරත්දි...
ඇසෙන දුර කථන හඬ,...
ආදරණීයයි ....තාමත්. ..
නංගි මම හෙට එනවා,.....
මොනවා...?
ඕලු මල් මිට...
මනාලියගේ හැඩ ගත්
මගෙ දැතෙ,....
දැස් හැර,.....
ඔහු දැස් බැලීමි
මඟුල් බෙර හඬ,.....
බට නලා හඬ. ...
දෝංකාර දෙද්දී,...
රනින් කළ මුදුව,...
මගෙ සුලැඟිල්ලේ පැලඳිය,.....
View Poem

චමින්ද ලියනගේ බලංගොඩ

2024 අගෝස්තු කලාපය

මනමේ හමුවක පවසන වගනම්,,,

මනමේ සොයමින් වන පෙත සරණා
මග තොට මුව මුව සරදම් අසුණා
ගිනි ගත් මා සිත ඇති තතු නොදැනා
තෙපලන දොස් ගැන නැත සිත උරණා,

අකුරෙහි රැඳුනත් එක ගුරු ගෙයි හිඳ
අබියස හමුවක බිණු බස් කොහි වෙද
සරණෙක බැඳුනත් පිය රද කී ලෙද
තනිවම හමු උනෙඔහු මට වන මැද,

එලමින් තිබුණත් ගහ වැල සැරසිළි
මතු උනෙ වන මැද බියකරු සිතුවිලි
මනමේ කුමරුන් පිදුවත් හසරැළි
ඇසු ඇසු දේටත් නැගුවෙම මැසිවිළි,

හැඩි දැඩි වැදි රජ නපුරුව දුටු සඳ
අසිපත ගිලිහුණි සිහිසුන් වර යැද
තනිවම යමි මම මේ රැදු වන මැද
මනමේ හමුවක පවසමි නිවරද,
View Poem

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

2024 අගෝස්තු කලාපය

මළ පෙරහැරක කසුකුසු

පෙට්ටිය ගෙට නොගිය
උපාසක ආත ගෙ බොඩිය
උවහරණ කළ ලොකුහිමි ය
දෙසූ බණනම් සුපිරි ය

යන්තම් එකම පුටුවට
එලා උත්තර සළු පට
වාඩි වූ ටකරම යට
කවුද දැන් එනතා ගෙ පිහිටට

හූල්ලන හිතවත්තු
වටේ ගේවල බවලත්තු
මැදින් ගොස් ඉඳගත්තු
සීදේවි හොර බලවත්තු

දිවිපුරා කඹුරා ඇති
මිනිය කර ඉහලින් යති
ලොකු සාදු සහ හොරමැති
"වී එයිට් " එරිදියෙන් ඉගිලෙති


බණ කොතෙක් ඇත්තද
කුමක් කරනුද අපේ කරුමෙට
සීදේවි මැති සඳ
"ලබන පාරත් යවමු රජ ගෙට"
View Poem

දීපා ද සිල්වා - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

ඉතිහාසය සැගවූ කාවන්තිස්ස …

මහාවංස කතුවරයා කාවන්තිස්ස රජු නිවට බියගුළු පාලකයෙක් ලෙස දක්වා තිබුනද, දුටු ගැමුණු රජුට රට එක්සේසත් කිරීම සදහා අවශ්‍යය ආර්ථික ශක්තිය ,හමුදා ශක්තිය මෙන්ම මහා සංග රත්නයේ බලපෑම ද ලබා දීමට මූලික වී කටයුතු කරන ලද්දේ කාවන්තිස්ස රජු බව මෑතදී මවිසින් කියවන ලද පොතකින් දැන ගන්නට ලැබී ,කුඩා කල සිටම දුටුගැමුණු රජුට යුද වැදීමට අකුල් හෙලූ පාලකයෙක් ලෙස සිතා සිටීම පිලිබදව ඇති වූ කණගාටුව නිසා මෙම කවි පන්තිය ලියවිණි.





ඉතිහාස කතාවේ වීරයා කරවන්න
සිත් සතන් පතුලේම නම රනින් ලියවන්න
අමතකව නොයන මතකයක නිති රදවන්න
පිටුපසින් සිටියෙ නුබෙ ජය කනුව රැක දෙන්න

“බියගුලුයි” ලෝකයා නගන නෙක අපවාද
ඉවසන්න දිරි තිබුනෙ නුබේ ජය ටැබ ගාව
කාන්තා සළුපිලිත් ලැබුනාට නෙක පාට
රිදුනෙ නැහැ බින්දුවක් සිත මගේ කිසි දාක

රන් කරල් අටු වලින් පාන හසරැල් අතර
සමගියේ යදම් වැල් එළි කළා වැලි කතර
සග මුවින් තෙපෙලෙනා මහා සම්බුදු සුතුර
ලක් මවට වත් කළා සාමයේ අම වතුර
View Poem

දිනුෂි සෞම්‍යා සිල්වා

2024 අගෝස්තු කලාපය

කුවන්ණා මම...

නුඹේ රජ රන් ඔටුනු සිහිනෙන්
දුටිමි මං එක දවසක්..
යක්ක රුහිරෙන් සිඳුණු නෑ ලේ
මොරගසාවී හීනෙත්..
ශාපලත් කන්‍යාව කී මුත්..
නුඹේ පතිනී වී මං
අපේ රැහැ තෙත් කළා කඩුවෙන්
නුඹට ආලේ ලෝබෙන්..

කුමරුනී නුඹ තබා සිහසුන
රැජිණ වන්නට හිතුවත්
මදුරා පුරයෙන් ගෙනාවා නුඹ
අග මෙහෙසි නුඹ හට දැන්
ලාටරට තොටුපළින් ආ හෙණ
තුරුළු කරගත් මෝහෙන්
නුඹේ ලෙයටම වැදූ දරුදැන්
ඉකිපොවාවී සෝකෙන්

කුවන්ණාවෝ අදත් ඉපදෙත්..
මිනී මස් නම් නොම කත්..
නිරිඳු ප්‍රේමෙට හති වැටිත් දැන්
මංමුළා වී පරවන්
පෙවූ ධාරක ස්නේහෙ ගින්නෙන්
කදුළු මහ වැහි උහුලන්
ඔහෙ ඔහේ හිස් හැරුණු මං ළඟ
පතා සිටිතියි සිඟමන්

විජයලා සිටි ඉන්න මේ ලොව
නඩුව අහපන් දෙවිඳුන්
වීදි සරනා කුවණ්නාවෝ
ඇතේ තව කොත ඉමකුත්
පිරිමි පපුවට කෝළ පදයට
වහවැටෙන නුඹ වෙනුවෙන්
මොර ගසා මේ කතා පවසමි
නැගිට නිදනා සොහොනෙන්


Painting credit; Asanka Anujeewa -
View Poem

ධම්මික ජයවර්ධන

2024 අගෝස්තු කලාපය

නදී ඕ තොම, නිසල

ගැල් පෙළ බඹර කැල
බොදුර ගොස් වෙහෙස
පැමිණ ඇත ගිමන් හල
සැඳා අඳුරැති නදී තෙර

වැල් කැඩී ඇති යහනෙක
සැතපෙයි සැඳා අදුර
මවමින් නොරිලතා රුව
යටලීයක් නැති පියසක

කෙඳුරුම් හඬකි, සක්වාලිහිණි
නදී තෙර තුරු හිස
පවක්කර නොමැතිද
ඇදී යයි පෙන ගොබ අහිමි සසර

බසක් නොම දන්නා
ආගිය තතුද නොදන්නා
මගියෙකි වෙහෙසුණු සිරුරක්තුල
සොයයි උණුහුම, නොම සිසිලස

නදී ඕතොම, නිසල
ගලා යයි නොසොයා සයුර
නමුදු සොයමින් ඇරඹුම
සිසිලැති ගිරි අරණ


ජුලි 01, 2024.
View Poem

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2024 අගෝස්තු කලාපය

මුදල් වලට තියෙනා 'නම්'...!

රටින් රටට වෙනස් වර්ග
වලින් මුදල් හඳුන්වනව...
මිටින් එ හල විහඟු වගෙයි
රඳන්නෙ නෑ ඉගිල්ලෙනව...
වටින් පිටින් හොයල බැලුව
කලදි නම්ද වෙනස්වෙනව...
තුටින් මෙහිදි සඳහන් කර
ඔන්න මමත් උගන්වනව...

පුද බිමකදි පින්කැටයට
දාන කලදි 'පඬුරු' කියා...
සැදහැතියෝ සාධුකාර දෙයි
දෑතද නලලෙ තියා...
හදකට තව හදක් බැඳෙන
මගුලෙදි 'දෑවැද්ද' සොයා...
වද දෙන අය තවම ඇතේ
ඇසෙනව, දුක නැද්ද මෙයා...

මගුල හබක් වී කසාදෙ-දික්
වුන කල ගෙවනවාලු...
උගුලක් කියමින් 'නඩත්තු'
පව් කියලත් සිතෙනවාලු...
අගුලක රඟ පදින කලට
දැනේ කියා කියනවාලු...
නගුල නැතිව සී සෑමට
හැකිද යමෙක් අසනවාලු...

දිවි ගෙවන්න මදිවුන කල
මුදල් ඉල්ල ගන්නවෙනව...
සවියක් ලෙස ලැබුනත් එය
'ණයක්' කියා හැඳින්වෙනව...
අවියක් ඇනගත්ත වගෙයි,
පොළියත් තව එකතුවෙනව...
කවියට නැගුවත් මෙලෙසින්
අන්තිමෙ බංකොලොත්වෙනව...

උපයන විට අප මුදලක්,
රජය විසින් කපාගනී...
අපලෙ කියා බැණ බැණ ඒ
'බදු' ගෙවන්නෙ දුකින් මෙනී...
අප වරදක් කළොත් එහෙම
'දඩය' ලෙසින් ලබාගනී...
නොපතන් මේ වගෙ කරදර,
හඬයි දනෝ දුකම දැනී...

වැඩ කරලා උපයන්නේ
සොච්චම් 'වේතන' යි දනෝ...
කඩයට ගියවිට දියවෙයි
මාසෙ 'පඩිය' දුකක් එනෝ...
ඉඩ දී වයසට යාමට
'විශ්‍රාමික වැටුප' දෙනෝ...
බඩ දනවලු ඇහෙනා විට
කන්ට නැතිව මැරිල යනෝ...

'පොකට් මනී' අප ලැබුවේ
කුඩා කලදි හරි සතුටින්...
ටිකට් අරං බයස්කෝප්
බැලුවාලුනෙ ලොකු කපටින්...
පිකට් කරත් එපා කියා ,
බල කර දෙනවලු අර 'ටින්'...
රොකට් එකක් අරං යමුද හඳට,
මිදෙන්නට ගැහැටින්...
View Poem

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2024 අගෝස්තු කලාපය

පෝෂණ වගුව

එලවලු මාළු මස් බිත්තර

කපා පින්තුර සොයා පත්තර

කොහොම අලවා ලියමි උත්තර

රසක් ගුණයක් නොදැන විස්තර



අම්මට ලැබෙන සොච්චම් පඩියට

ලිප් ගලුත් රත්වෙයි ඉඳහිට

මඤ්ඤොක්කා බත් හෝ පාන් පිෂ්ඨයට

ලුණු ළූනු පොල්සම්බෝලෙ ප්‍රෝටීන හා මේදයට



ටීචර් ඇත්තම ඇත්ත ඕකයි

බඩගින්න කුරිරුයි වේදනාකාරියි

ඊයෙත් එකම වේලයි

බිංදුවයි ටොක්කයි දෙකම මාරයි
View Poem

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

2024 අගෝස්තු කලාපය

සබඳකම

පුරුද්දක් තිබුණා ඔහුට
ආ විගස, ඇඳුම් උනමින්
ඔරලෝසුව බලන්නට

ඔරලෝසුව නොබලාම
ඈ දැන සිටියා
ඔහු පැයකින් දෙකකින් යන බවත්

ඔහුගේ ඒ පුරුද්ද
සුපුරුදු ලෙස
ඔහු කෑමට ගෙදර යන බව
ඇයට දැන්වීමට බවත්

සුරක්ෂිත ව මෙසේ
ඔවුන්ට වසර ගණනාවක් ගෙවිය හැකිව තිබිණි
බලා සිටීම, දුරකථන ඇමතුම, පැමිණීම
නොසෑහෙන නමුත් එහි යමක් විය

ඒ නොසෑහීමේ තරම
වැටහුණා ඇයට
ඇගේ උපන්දිනය සිහිවී
ඔහු මල් කළඹක් එවූ දා
ඈට හැඬුම් ආ විට

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘The Affair’ by Katharine Gallagher

1935 දී ඕස්ට්‍රේලියාවේ උපන් Katherine Gallagher, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ ලන්ඩන්හි රැකියාව කරමින් වෙසෙන්නීය. වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද කවි ලියන ඇය පොත් රැසක් ලියා ඇත. ඇගේ කවි ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ රුමේනියානු භාෂාවලට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි.

Photo- Jr Korpa on Unsplash
View Poem

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

2024 අගෝස්තු කලාපය

සුභා තෙරණි නෙත

නිල් මිණ
පරදන
වරුණින
අගයන

පින්වත
මා නෙත
වෑහෙත
ලේ විත

මස් ඇස
කර විස
නුවණැ'ස
දී යස

විදසුන
අරුණින
මෝ මන
දුරලන


පාඨශාලාචාරිණී ,
හෝමාගම ම.ම.වි.
View Poem

Prof Indika Thilakumara Faculty of Dental Sciences, University of Peradeniya

2024 අගෝස්තු කලාපය

A liberated woman

A liberated woman
With a strong masculine element
Clad in head to toe
In shades of dark blue and black
A feminist,moving freely
Amidst men and women

A woman writer
Her writing already published
World reads her
Through her writing
Labelled "Liberated "

Behind the letters in books
Wearing soft pastel shades
Giving way to natural curves
Whispering sweet nothings
In not so musical voice

There lives plain Jane
Wandering around
With eyes only on one
Bound willingly
By chains of love
Liberated
From hassles of life
View Poem

ජයතිලක කම්මැල්ලවීර

2024 අගෝස්තු කලාපය

අම්මා

ඈත ගම් පියසක
පාළු සොහොන් බිමක
වැඩුණු තණපත් මඩිමින්
සොයමි අම්මා වැළලූ තැන

හඳුනා ගත නොහැක
කොතන, කොයිබද
රහසින් විමසමි
අම්මේ ඔබ කොහිද?

මහත් ලජ්ජාවක් දැනෙයි සිතට.

Photo credit; Robert Lukeman
View Poem

මහනුවර යුගයේ ජන කවියා

2024 අගෝස්තු කලාපය

යසොදරාවතේ සිත්ගත් කවි

මහ ඔසු පඬිව ඔබ මට කරපු අනදරා
අඹරා බත් මාළු මගෙ ඇඟ ඉස තවරා
නොමරා මරන්නට කළ දේ මට මිහිරා
අමරාවතී දේවිය මම යසෝදරා
View Poem

කපිල කුමාර කාලිංග

2024 අගෝස්තු කලාපය

ලන්ඩන් ගිය තාරා

උඩරට රාජධානි සමයේදී ,බ්‍රිතාන්‍යයයන් විසින් ඔවුන්ගේ රටට රැගෙන ගිය තාරා දෙවඟනගේ ප්‍රතිමාව නමින් ප්‍රකට විශිෂ්ඨ කලා නිර්මාණය දැන් පවතින්නේ ලන්ඩන් කවුතුකාගාරයේ ය.පසුගිය වසරේ පමණක් එහි පැමිණි දෙස් විදෙස් ජන සංඛ්‍යාව 5,820,860කි.
තාරා දෙවඟන යළි ලබාදිය යුතු යැයි ඇතැම් පිරිස් ඉල්ලීම් කරති.


තාරා
නොඑන්න යළි මෙහි
ඔතැන ඔබ
ආරක්ෂිත ය.

ලොව නන් දෙසින්
එන රසික දන
දැක ඔබ රූසිරි
විඳ යති ඔවුහූ - විශ්මිතව
අගයමින්- කලා නිමැවුම

උඩු කය නොවසා
සළුවකින් හෝ
පුන් පියයුරු විදා
සිටිනයුරු ඔබ
සීත රටකට වී
පුදුමයි විටෙක මට

ගත හැකි මිටින
ඔබ සිහිනිඟට
බර වැඩි නැති ද
පියයුරු මඩළ

නොසිතේමැයි මට
දෙවඟනකැයි ඔබ
ඇසි පිය හෙළන පමණින්
නොවෙද ඒ වෙනස

ඔබ නිමවූ
ඒ නාදුනන කලාකරු
දෙව්ලොව හිඳිමින්
තුටුවනු නිසැක
ඔබ ලබන සැලකුම්
පැසසුම් දකිමින්

කටුගෙයක් යනු
සිරගෙයක් තමා
කලා කෘතියකට

ඒත් ඔබ
ඔතැනම ඉන්න
එපා යළි මෙහි එන්න
රස විහින
අමන කැල
සොරාගෙන ගොස් ඔබ
කැබලි කොට
උණු කර
තඹ ගුලියක් සේ ගෙන
අලෙවි කර
දමනු ඇත
සුළු මිලකට

ඔබ ඉන්න
ඔතැනම
තාරා මගේ
අඩනාරි දෙවඟන


29/07/24.
View Poem

ලයනල් ගමගේ ඌරුමුත්ත

2024 අගෝස්තු කලාපය

වයස්ගත කවිය

ඇට වැදුණු වංගෙඩිය
ඉරිතැලී මහළු වී
පිරුණු රතු කොමඩු ඇගෙ
එල්ලිලා වැටකොළු
එදා කෙටු මෝල් ගස්
බිම බලාගෙන සිටී
මොකද වුණෙ දන්නෙ නෑ
හන්දිපත් හිරි වැටී

අහස් කුස සිසාරා
සැරි සරන දුම වගේ
අපේ හිත ඉගිලිලා
අතීතය කර කැවේ
උදුන් ලිප ටයිල් උඩ
විදුලියෙන් බත ඉදේ
එදා හිටි පරිසරය
අද වෙනස් වී තියේ

රෝස මල් සුවඳ කෝ
ඔසු සුවඳ ජීවිතේ
ගතේ ඔප මැකී ගොස්
කොටු වැටී සරම සේ
හැමදාම වාරු නෑ
හැරමිටිය හුරු අතේ
වැඩි වෙලාවක් සිටී
උඩ බලං වැල් ඇඳේ
View Poem

ලුම්බිණි විතාන - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

සුවඳ අපව අරගෙන යන දුරක්....

සුවඳ අපව අරගෙන යන දුරක්....

සමහර සුවඳවල් ගාව අපි නිරායාසයෙන්ම නවතිනවා.

ඒ.... ඒ සුවඳවල් අපිට මතක රැස් කරලා දෙන නිසා.

තවත් සුවඳවල් අපිව අඩවනවා....

අපේ යට ගිය මතකවල් අවුස්සලා

එකිනෙකාට ආවේනික වු .....

මිනිසුන් හා බැදුනු

මේ සුවඳට කලහැකි දේ එමටයි.

මේ සුවඳවල් අපිව ජිවත් කරවනවා.....

තව තවත් සතුට දුක

අපේ ජිවිත වලට මිශ්‍ර කරමින්.
View Poem

ලලනී ගීකියනගේ - රත්නපුර

2024 අගෝස්තු කලාපය

වලා සළු ඉහිරිලා....

අරුණ පෙරඹර රැස්විදා එකසේ
හිරුත් හිනැහේ නව දිනට පෙරසේ..!
ලොවක් හැඩ කල.
හිරුත් ඔබමය...
සඳුත් ඔබමය...
එකම ආකාසේ..!

දිලෙන හිරු වැළපේ...
සිසි කිරණ වැද , ගිලී යයි අහසේ..!
සැඩ සුළං හමුවේ..
පිණි පොකුරු සිප, මල් පිපෙයි සුවසේ...!

මත් බඹර පහසේ....
අතු අගක පිපි , මල් කැකුළු වැනසේ....!
දිලෙන තරු පෙරසේ....
රුසිරු පැහැසර නිවාලනු කෙලෙසේ..!

අමාවක ගනඳුරට නතුවනසේ..
වලා සළු ඉහිරිලා නිල් අහසේ....!
එලා වට තිර , උනා දමනට..
හිරුට හැකිවේ නම්..!
කෙසේනම් ඉවසනුද හොර රහසේ..?




2024.07.23
View Poem

ලාල් හෑගොඩ  

2024 අගෝස්තු කලාපය

අඳ ගොවි

ආයුබෝවන්!

ඔටුන්නක් දමා ඔළුවට ඇන මුරිච්චි තද කෙරූ
පිළිස්සුණු පිටේ රත්තරනින් රන් රජ පච්චය කෙටූ
ගොවි මිස අඳ ගොවි නොවේය
දෙයියං පල්ලා අඳ නොවේය

ට්‍රැක්ටර් මවන කොම්පැනිවල පැවැත්මට
ට්‍රැක්ටර් ගෙන්වන එතුමන්ලාගෙ සතුටට
හීය කරන
එතුමන් කිරි සිනා දකින
ගොවි මිස අඳ ගොවි නොවේය
අම්ම පල්ලා අඳ නොවේය
සොච්චමක් ලැබෙයි - පින් සිද්දවෙයි

පොහොර මවන කොම්පැනිවල පැවැත්මට
පොහොර ගෙන්වන එතුමන්ලාගෙ සතුටට
පොහොර දමන
එතුමන් කිරි සිනා දකින

වල් නාශක මවන කොම්පැණිවල පැවැත්මට
වල් නාශක ගෙන්වන එතුමන්ලාගෙ සතුටට
පොහොර දමන
එතුමන් කිරි සිනා දකින

තොග වෙළඳාම කරන කොම්පැනිවල පැවැත්මට
අලෙවිකරණ එතුමන්ලාගෙ සතුටට
වී කිලෝ කර මණින
ගොවි මිස අඳ ගොවි නොවේය
බුදුන් පල්ලා අඳ නොවේය
වී සොච්චමක් ලැබෙයි පින් සිද්ධ වෙයි

ගොවියෝ කියන කම්කරුවෝ අපි - අඬ හැර නැතිවුණාට
ලෝක කෘෂිකර්ම මැෂිමේ හොඳ ඇනයක් අපි
මඩ තැවරුනාට
ලෝක සාගිනි නිවන ජලකඳය අපි - නියඟේට පිච්චුණාට
ගොවි මිස අඳ ගොවි නොවේය
නේත්‍රා පල්ලා අද නොවේය
සොච්චමක් ලැබෙයි - පිං සිද්ධවෙයි
View Poem

ලක්විජය සාගර පලන්සූරිය

2024 අගෝස්තු කලාපය

සුභ පණිවිඩ පැදිය......

නැති බැරිකමට සිව් පද ලියවුණු යුගය
කිවිඳුන් දුගීකම ගැන අත්දුටු යුගය
සාගර කුමරගම දුගි කවි කී යුගය
සිරිලක දුප්පත්ය එනුමැන ඒ යුගය

දිලින්දාගෙ නැති බැරිකම ලියු පැදිය
වැරහැලි සමග හිගමන ගැන කී පැදිය
ටයි කෝට් පැලද රට රට ගොස් ඒ යැදිය
කවියක් ලියමු බංකොත් සිරිලක හදිය

නය බර වැඩි වෙලා හිරවී ඇත බෙල්ල
සුභ පණිවිඩය ගැන ඇහුනා කියවිල්ල
කිරි බත් කැවුම් කා ජයටම නැලවිල්ල
නය කන්දක් කල් දැමුවට තැටමිල්ල

හැම දුප්පත්ය නැති බැරිකම රටම වැසී
වේලක් අමතකයි එක් වේලක් පමණ පිසී
දරු රැකුමට වැඩිහිටි හැම මගම නසී
නය ගොඩ ගැන සිතා හැම පනපිටින් නසී

ඇති හැකි පිරිස සුර සැප දිවි ගතකරතී
මැදි ආදායමත් දුප්පත්වී වැඩ වරතී
දෙස්පාළුවෝ අයි.එම්. එෆ්.රැක වරතී
ජනතා සටන් නිර්වින්දන සුව විදිති
View Poem

ලතා ද සිල්වා නවසීලන්තය

2024 අගෝස්තු කලාපය

නයගරා

ලෝ දනන් දුක දැනී
නිහඬව යුග නෙතින්
කඳුලැලි සලන්නී
සදාදර නයගරා

තුති මල් මිටක් ගෙන
දෙපා ළඟ සෙනෙහසින්
පුද කරන්නෙමි ඉතින්
දයාබර නයගරා


30අගෝස්තු 2024
View Poem

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

අපේ සුන්දර කලා කරුවා ඔබයි දරුවනි ඇත්තමයි!

සිසුනි ඔබ අමතන්න හැකිනම්කියාදෙමි රසවත් දෙයක්
සුහුරු phone ය මඳක් පසෙකින් තබා කන් දෙනු රස දෙයක්
අවට සුන්දර පරිසරය විඳගන්ට හැකි යස උපායක්
හොඳට හුරුවූ විටක ඔබ මට තුති පුදයි නෑ සැක බිඳක්

පිපුන මල් ඇත විවිධ වර්නෙන් නොයෙක හැඩයෙන් මන්ද ඇයි?
රැට පිපෙනා කුසුම් ඇයි අනෙ සුදෝ සුදු වී සුවඳ දෙයි
හිරුගෙ කිරනට ගසේ පත් ඇයි හරිත වන්නේ කුමටදැයි
මෙවැනි පැනයන් ගලා ආවොත්කු තුහලෙන් ඉගනුම ලබයි

අම්මා පිසිනා විට ගොසින් මුලු තැන් ගෙයින් දැනුමක් ලබන්
නටන වතුරෙන් තේ හදන්නේ ඇයි කියා සිතලා බලන්
මාලුවට ලුනු මුලින් දැමුවත්, පසුව දෙහි මිරික ගන්නේ ඇයි සිතන්,
පොතේ විද්‍යා පාඩමට මුලු තැන් ගෙයින් නිදසුන් ලබන්

විදුලි කොටනා විටදි ශබ්දෙට කලින් අහසේ එලි පෙනෙයි
එයට හේතුව පන්තියෙදි ඔබ හදාරා ඇති වග සත්‍යමයි
අවට සිදුවන දෙයක් විදු නැනින් බලනට පුරුදු වෙයි
එවිට ටියුෂන් පන්ති යන්නට උවමනාවක් ඇති නොවෙයි

ලොවේ බිහිවුන විදු රදුන් ඔබ වැන්න දරුවන් ගෙන් තමයි
ඔවුන් පොත පත වලට් යටවි නොසිට කුතුහල පෙරට ගයි
සෑම සිදුවීමකට හේතුව සොයා ගන්නට තැත් කරයි
මෙසේ සිතුවිලි රැසක් මුසුවී සුහුරු රථයක් ලොවට දෙයි

කලා සිතුවිලි පහල වන්නට විසැසි ඉගනුම් අවැසි ඇයි?
අහසෙ, කැලයක ගලන ගඟ ලඟ සුන්දරත්වය එහි මුලයි
කලා ඇසකින් බලන විට එහි විවිධ හැඩයන් ඇසට එයි
අපේ සුන්දර කලා කරුවා ඔබයි දරුවනි ඇත්තමයි!
View Poem

මාලිනී හෑගොඩ USA

2024 අගෝස්තු කලාපය

මතක අමතක

තීන්ත ගැලවී
බිත්ති අවපැහැ වී ගියත්
පිපෙනවා ඉදිරිපස
තාම දම්පාට මල්
වතුර නැතුවත්

ඒ මල් කියන්නේ
නොමැකෙන බව
අපි ඇන්ද සිතුවම්
දකින්නට කෙනෙකු
ළඟක නැතුවත්

පැණි කුරුල්ලෝ
මල් පැණි බොන්න
එනවා ඇති
ගී අහන්නට
කෙනෙකු නැතුවත්

මීමැසි කැළට
අමතක වෙන්න
බැහැ නේද රොන්සුණු
මල්වල එදා තිබු
සුවඳ නැතුවත්

මාලිනී හෑගොඩ
2024 ජූලි මස 12 දින ඇමරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝනියා හි දීය
View Poem

මානෙල් ඩේසි රාණි

2024 අගෝස්තු කලාපය

අලි වැට නැති දා

ලොක්කි දීග ගිය දවසේ
රෙජිස්ටාර් ළඟට යන්න
ගම්මැද්දෙන් ඉල්ල ගත්ත පරණ පාට
මල් සාරිය
වගේ නෙවෙයි ඇඳල ඉන්න
ලේස් සුදුම සුදු සාරිය .
කවදාවත් නැති විදිහට
අවුල් නැතිව පිළිවෙලකට
කොණ්ඩෙ පීරලා ඉහලට
කොහෙ යන්නද සූදානම
කොහේ ගියත් අපි දෙන්නනෙ
එකට ගමන් බිමන් ගියේ
හදිස්සියට කලබලේට මං අමතක උනාවත් ද
පාන්දරින් දොට්ට යද්දි
"තනිය" එනව දැක්කෙ නැද්ද
යන්තම් වත් දැනුනෙ නැද්ද
අප්පච්චිත් ගිය සුමානෙ
යන්න ගියා ඔය පාරෙම
"මං නැති උන දාක අනේ පොඩි කෙලීට
කවුද ඉන්නෙ"
උදේ හවස කීව නේද
මං කාටද බාර දුන්නෙ
කණවැන්දුම් ගුණේ ඇවිත්
උදේ ඉඳන් බරටම වැඩ
උඹේ ඔළුව අතගාලා පානට තෙල් ටිකක් දැම්ම
අනේ ඌට කියාපන්කො
මගෙ තනියට නතර වෙන්ට
ලොකු හාමුදුරුවො වඩිනව
තවත් බැහැනෙ මෙහෙම ඉන්ට
අම්මේ
දැන් යමු එළියට


2024.07.08
View Poem

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

සමනල සඳෙස -15

දත යුතු කරුණු ගොමුව - 12
බඳ කිකිණිය වළව

279. සමනල සබඳ තව එකියක් ගැන නො ගැයූ
සුකොමළ ගතිය කිසි විටෙකත් මැන නො කියූ
දිය මල පුබුද මහ එළියෙන් පැන නැගුණූ
කවි මල පා කරමු වළවේ දැන කරුණූ

280. පැහැදුල් වළා ඇති මහ එළියේ තැන්න
සුවි-පුල් සමන් දෙවිදුගෙ අඩවිය මැන්න
දියවැල් එතී දැවටී වනපෙත් ගොන්න
සුර-තල් නදී වළවේ ඉපදුණු වැන්න

281. මහ එළියේ සුන්දර වට මිටියාවත වදුලූ
දිය බිඳු පෑහී එකිනෙක ගලා ඇදෙන පබලූ
නීල රැසින් බැබලෙන දිය පොකුණ විලස බුබුලූ
ඇදෙයි නොරැදි ඒ දිය කඳ ගඟක් ලෙසින් බැබලූ

282. කල්තොට - උඩවළවේ - පදලංගල මා මඩල
නකුළුගමුව - උස්වැට - තුන්කම රිදිය ද වටල
අගුණකොළපැලැස්සත් හා ඇඹිලිපිටිය සළෙල
මැගෙන් පිනා කෙත - හේනට බෝග දුන්න ලිහිල

283. උයන්ගස්තොටත් හම්බන්තොටත් ගිය මටත්
බලනට ඇති දෑ එමටයි නොගිය නම් බොටත්
උඩ සිට වළවේ කොමළිය ඇදෙන හැටි තවත්
සයුරෙ ගිලෙන තැන බල ගොස් අම්බලන්තොටත්

284. තෙද සමනල මගෙ සුමිතුර නුඹේ නුවන් හෙළා
බලනු මැනවි යන හැටි ඇය බද කිකිණිය සලා
දසුනින් මන බැඳෙන විලස කෙටි කර කවි කලා
කියනු මැනවි වළවේ ගඟ කොමළි නොකර මුළා

සමනලයා දුටු නදී කොමලිය-4
කැළණි සුරවරුවරිය 18



285. වැද - වැද පා කමල සම්බුදු රජාගේ
සිඹ - සිඹ ඔකඳ කළ සිත ලක් මෑණියන්ගේ
දිව - දිව ජනිත කරමින් නද තරංගේ
ඇද - බැද පබා කරවයි නෙත් දනන්ගේ

286. පොරවා නීල පැහැ ගත් යස පට සේලේ
සරසා බමන දිය සුළි තැන - තැන මාලේ
නළවා පද්දමින් ඉඟ - සුඟ යන තාලේ
වෙසෙසා නෙත නටයි නුඹෙ හද ළඟ කෝලේ

287. නිරතුරු සැපත සතුට ද ලක් මාතාව
විඳ තුරු ලතා කෙත් වතු දුන් පලදාව
පෙම්බර නදිය වළවේ සුවිනීතාව
තුටු වෙමි ගයා තීගේ ගුණ ගීතාව

288. සිහිලස හැම විට දි දී මද පවනෙ එතී
නන්වන සුදිල වන් දිය රැළි එකට ගෙතී
බඳිමින් වැටෙන වනමල් පත් පියලි පෙතී
දිගු වරලසක හැඩ මවමින් ගලයි රුතී

289. තැන - තැන දිය කෙළති සුදනෝ ඔකද වෙමින්
පැන - පැන ගසති දිය බුං රැළ ළමා වෙසින්
කැණ- කැණ ඉවුරු දෙපසින් ගෙන වැල්ල හෙමින්
අන - වින කරති මුදලට ලොබ බැඳි දුදනන්

290. නිල් මිණි පැහැ සලුව හද තුළ රුවා ගෙන
නිල් දිය රැළි නගා සුළගින් කවා ගෙන
නිල් නෙත් අයා නිලඹර දෙස බලා ගෙන
නිල් රොද මැදින් යන්නෙ ද නුඹ ගලා ගෙන

291. ගල්-පරවල හැපී විසිරෙන රිදී බිඳූ
නිල්-මිණි කැට කිදා සැගවෙයි මුතූ බදූ
රල්-රැලි නගා පෙරළී වැලි ඉවුරෙ කදූ
සල්-ලම් කරයි හඩමින් වා සුළිය හැදූ

292. ව ළ වේ සොදුරියේ නුඹ හරි හැඩකාරයි
නැළවේ සොබනියේ සිත නුඹෙ මනමාලයි
සැල වේ නිබද හදවත නුඹෙ දගකාරයි
ජය වේ නුඹට නුඹ යන මග ගම බාරයි
(මතු සම්බන්ධයි.)

2024.08.01
View Poem

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2024 අගෝස්තු කලාපය

මේ ඔබටයි...

බෙදා කතා බස් සතුටින් හිනැහෙන්න
බදා සෙනෙහසින් ඔබ මුව සිපගන්න
මුදා සියලු දුක හිතුනම වැළපෙන්න
එදා වගේ හැමදාමත් ළඟ ඉන්න

වැරදුන දිනට මා පසෙකින් හිටගන්න
පැරදුන පැයක අත අල්ලා නැගිටන්න
හැමදින අරුණ ලා හිරු සේ පුබුදන්න
සැතපෙන රැයෙත් සිහිනෙන් සිහිනෙට එන්න

කැළඹුන විටදි නිහඬව නිසලව ඉන්න
ඉවසන අයුරු නිතරම පහදා දුන්න
දින දින ගෙවෙයි කිසිලෙස බැහැ නවතන්න
අවසන කියමි මෙය හොඳහැටි අහගන්න

සසර මගේ මම ගියහම නොම එන්න
හතර රියනෙ මල් පඳුරක් හිඳුවන්න
නිතර හැකිය මට අතු අග සුපිපෙන්න
නතර නොවී ඔබ දුක සැප විමසන්න

Photo credit; Walter Brunner
View Poem

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2024 අගෝස්තු කලාපය

අපි නම් ගමේ !

වෙනසක් නොදන්නා නියරක හා දෙවට
ඇලක දොලක පිහිනා නැති අය කුමට
"අපි නම් ගමේ " කියනා උන් නම් එමට
කොල පෙන්නනවාද ගහ දන්නා අපට

වක්කඩ දියෙන් මඩ සෝදාගෙන යසට
සෙවණේ වාඩිලා ගෙන ගස යට දෙමට
බෙදලා කෙසෙල් කොලයට ඇඹුලත් රසට
කාලා නොමැති නම් අඩුවකි ගැමි කමට

පැල් කවි තාලයට රෑ තුන් යම ඇසෙනා
දිය බෙර හඬ ද එයටම නොදෙවෙනි වෙමිනා
විඩාබර වුවද ගත - නෙත් නොපියවෙනා
දැක තියෙනවද ගොවියන් තම පැල රකිනා

නිල් පැහැ සීත දියපිරි කුඹුකේ ලිඳ ට
දිය නා නැති අයෙක් හිමි වේවිද ගමට
ගැමි සුන්දරත්වය කොටු කර පොත පතට
"මම නම් ගමේ" කිව්වම සතුටුද සිතට
View Poem

මංගලා රත්නායක වැලිමඩ

2024 අගෝස්තු කලාපය

මස්සිනාට ආදරෙයි ..

සුසුමන් හෙළමි බලමින් කැණි මඬල දෙස
හැඟුමන් බරව සෙනෙහෙන් ඔබ දෙඩුව බස
පැතුමන් ළඟදි මනමත් වූ පහසෙ රස
රිඳුමන් ගෙනෙයි හදවත මතකයක උස

හිමි අහිමිකම් දරා නොබලාම හිඳ පස්ස
ඉමි මගෙ පාඩුවේ කඳුලු බී රැය දවල්වන රිස්ස
ගමි හිතට වීරියක් ළඳක ලෙස ඇති යස්ස
මගෙ ළයේ ගිණි නිවයි ඇදහැලෙන මහ වැස්ස

ගියෙ ආවෙ හැමතැනම අපි දෙන්නමයි එකට
ඉනු මැනව තබාගෙන මෙය මතකයේ හොඳට
නොබැන්දට මුතුමාල ගෙනවිල්ල මගෙ ගෙලට
තවම හරි ආදරෙයි. මම මස්සිනෙ නුඹට
View Poem

මංජුල වෙඩිවර්ධන

2024 අගෝස්තු කලාපය

මට මං වෙන්න පුළුවන්

මට මං වෙන්න පුළුවන්
ඒ ඔබ එක්කම විතරයි...

ඔබ - සිංදු වැහෙන ගිතාරුවක්
ඇස් අන්ධ කරන ඇස් අමාරුවක්

හිත් රිද්දන සුන්දර සරාගයක්
කවි අද්දර පැද්දෙන පරාගයක්

රොන් ඇහැරෙන මල් උයනක
හොල්මං මෘදු මල් සුවඳේ
සිල් බිඳුනම හිත් ඇහැරෙනවා...
රොන් වෑහෙන මල් ගොමුවක
නම් ගම් නැති මල් අතරේ
මල් පෙති මත කවි ලියැවෙනවා...
රොන් පෑරෙන මල් කෙමියක
මන්මත් රජ බමර කුලේ
රොක්වෙන තැන හීන ගලනවා...

මට මං වෙන්න පුළුවන්
ඒ ඔබ එක්ක විතරමයි...
View Poem

නදී විතානාච්චි

2024 අගෝස්තු කලාපය

කූඹියෝ 2‍,3‍,4‍,......

තාත්තාගෙන් පුතාට පුතාගෙන් පුතාට

යන දියවන්නේ උරුමය සහ රටේ කරුමය

⁣අල්ලස් දුෂණ කොමිස් අස්සේ වැජබෙන

ර⁣ජයේ ලොකු පුටු රත්කරන බත්බැලයෝය

වාසියට ජනමතය ලස්සනට හසුරුවන

අමන තුච්ච නින්දිත ජාලගත ටෙලි පඩංගුය

අටපාස් වත් නැතිව ලක්සෙට කොඩි දමන්නට

ගොස් පාතාලයට කුඩු වලට කත් අදින මැරයෝය

කලු සල්ලි සුදු කරන වෙඩි නොවදින

තරු පනතියේ බිස්නස් කාරයෝය

ගලහ තුම්මල්ල හන්දියෙන් රතු කබා ගලවා

වැඩ වසම් රෙදි අපුල්ලන හෙංචයියෝය

තුට්ටුවට දෙකට විකිනෙන ⁣ගොඩයන්න පාර හොයන

තරුණ තරුණියෝය මව්වුරුය පියවරුය

ඒ අස්සේ බුදු බණද සිවුරද අමතකව ගිය

ගිහිද පැවිදිද දන්නෙ නැති අමනයෝය

සුර පුරක් කල හැකි මුළු රටම දැන් නරා වලක්ය

සේසතම හෝ විකුණා රට පැනලා කටු කෑවත්

ඔවුන්ගේ දරුවෝ දවසක දිනුම්ය

⁣කිඹුල්වත් නුවර බරණැස විශාලාව මෙන්ම

මහා සෑය දලදාව මහා බෝධිය දරා සිටින

මව් රටට දිවැස් ලන

සිව් මහා දෙවියෝ නිහඩය නිසලය.....

...නදී....



Ms.H.V.Nadeesha Lakmali
(B.Pharm, PG Dip Toxicology, MSc in Applied Organic Chemistry)
View Poem

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

2024 අගෝස්තු කලාපය

හැම තැන අම්බලම

අම්බලමක් ඇත, නොදනිමි කොයි තැන
ආගන්තුක සැම නිරතුරු එන යන
අවසර නොම ගෙන දින දින පැමිණෙන
අයගෙන් එහි තුල නිරතුරු අසහන

වයිරය, ක්‍රෝධය කරපින්නා ගෙන
රහසින් වැඩ අම්බලමට ගොඩවෙන
කරුවල සෙවනැලි එය තුල හොබවන
අවමංගල බව සැම තැන පතුරන

මෙත් කරුණා ගුණ වඩමින් එලඹෙන
මදහස පා අම්බලමට පිවිසෙන
මුළු පරිසරයට ආනන්දය දෙන
ආගන්තුක අසිරිය යලි බබලන

අවසර නැතිවම නිතරම පිවිසෙන
ආගන්තුක සිතුවිලි හැම එන යන
මෙම තැන සිත බැව් දැන් දැන් වැටහෙන
අම්බලමක් ඇත සිත යන හැම තැන

එක් තැන් මනසින් සංසුන් විය යුතු
සිත වැඩුමට බාවනාව කල යුතු
උපෙක්කා ගුණයන් වඩනෙම් මින් මතු
අම්බලමක් ඇත පිරිසිදු කල යුතු
View Poem

නාලිනී ද සිල්වා

2024 අගෝස්තු කලාපය

විමසමි - නලිනි ද සිල්වා

පැන්නුම් කුළුුණු

පහුකරගෙන

විමාන

අට්ටාල මැදින්

එකින් එක පිරික්සමින්

මුදුනටම නගින්නට ඇත්නම්

සිතුනු වාර අනන්තයි
ම්

ගෝපුරම් යන්න නම්

නමක් හිමි විය යුතුයි
වංශනාථ නවරත්න වගේ

අවිචාර සමයක්ම

විය යුතුයි යුගය

ඒත්

මෙතෙනින් යනකොට

නවතිමි

හැමදාම

විමසමි ඒ රූප වික්‍රමය

සුසුවඳ දොර කුළුණු අභියස
View Poem

නයනශාන්ති දිසානායක

2024 අගෝස්තු කලාපය

අධිවේගයේ මඟහැරුම

අධිවේගයෙන් මාතරට
පිම්මේ ම ආපහුත් පියාඹන
පිරිමසාගෙන කාලයේ මසුරම
අමුණාන නෑ සනුහරේ මාලය
අධිවේගයෙන් ගෙවෙන මේ ජීවිත

පෙර, පෙරුම් පුරාගෙන
යන්න දවසක් ම කැප කර
කල්පෙකින් මූද නොදකින
දෑස පුරවා ම විද විද
හිතු හිතු තැනින් රැල්ල පෑගුව
කිරල බීමක රස මතක
අතීතය රස කෙරූ මතක පමණය

අතුර බැදි රුප්පාව
මැදින් හිරු චායාව
කරදිය හුළඟ විද විද
බැස යද්දි ගත්ත සේයාව
එකතු කර ගත් සිප්පි එක්කම
පැංචෙක් ගෙනත් දුන් මාලය
ඇත තාම මා ගාව
මතක මත පරිස්සං කරගෙන

හික්කඩුවේ දි ගල් මල්
සීනිගම පුද බිමේ හාස්කම්
දැක බලා විදගන්න ගිය ගමන්
ඒ තමයි ගොඩබිමෙන් ඈතටම
ගියපු දුර වීසා නැතුවමත්

රිටක සිටුවා ජීවිතය
පවුලක් අස්වසා ගනු රිසිව
මූද දුන් අස්වැන්න ඉල්ලගෙන
හුවමාරු කර ගත් හිනාවක් අග
නුහුරුවට 'දොඩනා' වචන රස කරමින
බෙන්තර ගඟේ පාලම පැන්න
හෙම්බත් උනත් දිගු ගමන
වින්දා අපිත් ජීවිතේ එහෙම

දැන් දුවද්දී පිම්මේ ම
එකම වේගයෙන් සීයට
නිදි බර දෑස පුබුදන
සිනහවක් වී තැවරෙන
ඒ... හෙමි හෙමින් ගිය මඟේ
සුවඳ පමණය මතක
View Poem

නීතීඥ නීල් ගුණසේකර - කොළඹ

2024 අගෝස්තු කලාපය

ජෝතිපාලයි මිල්ටනුයි .

ඇඹරි ඇඔරී
තැටියෙ පෙරළෙයි
රත්වෙවී කදිමට ඇනෙයි
මැරී මාසය ගෙවුණු කුකුළා
හීනියට කැපුවම රසයි
සෝස් දැම්මම ලීස් ඉතුරැයි
ගෑස් ඇත්තේ තව ටිකයි
චීස්,ඩොල්පින්, මාලු අතරේ
පොලිස් කොත්තුව මල්පහයි

ඔලුවෙනුත් දාඩිය වැටෙයි
ඒ ලුණු රසෙන් කොත්තුව ඇනෙයි
තොත්තුවක් මට දෙන්න ආසයි
නෝනගේ කම්මුල් යසයි
ඉන්දියාවෙන් ගෙනා බිත්තර
සන්තොසින් සතොසින්බෙදයි
සින්දුවට මං අදත් ගත්තේ
ජෝතිපාලයි මිල්ටනුයි .
View Poem

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2024 අගෝස්තු කලාපය

ඔබ

අඳුරු ලොව තුළ ගිලුණු හදවත ස්නේහයෙන් පුරවා

සොඳුරු පෙමකට අන්ධ වී ගිය දෙනෙත් යළි ඇරවා

යටිකුරුව තිබු ප්‍රේම බඳුනක් උඩුකුරුව හරවා

වැසී ගිය ආදරේ නිවහන පියන් පත් හැරදා



ගිලන් වූ හදවතට පණ දී දයාවෙන් පුරවා

සිතේ සැනසුම සතුට සෙනෙහස නිබඳවම පෙන්වා

නවමු හැඟුමෙන් වෙලා සියොළඟ ප්‍රේමයෙන් පුබුදා

යළිත් මට ජීවිතය ගෙනදුන් ඔබ ය ඔබමය මා



නිසල බව සිඳ හමන මඳ නල සුවඳ හා මුසුවී

පෙළුණු ගත සිත නිවා සරතැස වැළඳ උණුසුම දී

දෙහද එක්වී සිහින ලොව තුළ එකම හදවත වී

වලා පෙළ සිප වැළඳ පුන්සඳ ලොවම අමතක වී

Photo credit ; freestocks
View Poem

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2024 අගෝස්තු කලාපය

දඩබ්බර රස්තියාදුකාර කවියෙක්

"ඉගෙනුමද අඩාලව ගිය රස්තියාදුකාර
මා ප්‍රිය මිතුරු කවියෙකි ඉතා දඩබ්බර"
කා සමග හෝ ඔබ කියනු මතකය

පෙර දිනෙක උදෑසනින් මවෙත අවුත්
තිලින කළ උද්භිද විද්‍යා සටහන් පොත්
අපූරු කවි සිතිවිලි මවයි

සැඟව උන් රන්වන් ලා දල්ලක් විනිවිද
දෑතේ දුවන හරිත වන් සිහින් නහර වැල්ද
මුව මඳහසද දැක මහද තිලැස්සුනි

සදාතනික සිහිවටන ලෙස හරිත පත් වල
තැන්පත්ව ඇති වියැලුන නෙක දළු කොල
අතර මසිතද සිර කර දමමි රහසින්

එක ගසක පත් සේ අප යළිත් ඉපදුනත්
සතුට සෝකය උතුරා යන දෙනෙතින් යුත්
සොයුරියක්- මිතුරියක් දකිනු රිසියෙමි

* Ficus Leaf - A. Ayyappan (Kerala poet) ඇසුරින්
View Poem

ප්‍රියංගිකා බටගොඩ

2024 අගෝස්තු කලාපය

අබිනික්මන

අහස ගිනිගෙන දැවේ බොහොදුර
හිරුද මැදිකර රුදුරු පුලිඟුව
තුංග කඳුවැටි යාය ගිලගෙන
කලුම කලුපැහැ අලුය විසිවුන
හංගගෙන ඇස් දිට්ටි මානෙම....

අලස ගතියෙන සැලෙන පියපත
වවුල් රෑනක සොඳුරු සිතුවම
දකුනු කුරුසිය දිලෙනමුත් රැය
බොහෝ දෙනෙකුම වැරදි මගකය
හත් දින්න ගැන ගැනම එළිවිය....

පහන් පැල තුල නිවුනු පහනය
කොඩෙයියන් රොද බැඳුන සයනය
පැන් පොදක්වත් නැතුව හිමිසඳ
දූලි ඇලවුනු මකුලු වියනට
යටින් අඩවන් දෑස නොහරින.......

පොහොන් යායකි දෙවැට අද්දර
බිමට නොවැටි ඇලවු කුලුනක
සාත්තුව කිසිවකුත් නොබලම
ආන්..,ඕසෙට පිපුන මල් ඇත
බිඟුට කලියෙන් වැටී සැඟවෙන.......
View Poem

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

2024 අගෝස්තු කලාපය

එහෙව් අය

තිබුණත් රුවින් උන් ළඟ
මහ පොෂ් ගතිය
කැකෑරෙයි වටවල තේ හැළියක්
හිත් කොනක
වැඩ වැඩි නිසා කට කොනකින්
හිනාවෙන හරිය
ටිකට් නැතිව පෙන්වන
බහුරූ කෝලම් වැනිය...

කලට වෙලාවට පදමට රසට
ලොකු පුටුවලට බෙදනා
රස පැණි ගුළිය
අරයාගේ මෙයාගේ කතන්දර
එක පෙළට
අනේ කොහොම මතකද
ඔච්චර හොඳට...

උන් විතරයි හොඳම
අනිත් උන් ඕපපාතිකය
උන් විතරයි දන්නේ
අනිත් උන් මැටිගුලිය
අඩු කළ උන්ය අහු මුලුවල
කියවන කටවල්ය
විලි සංගයක් නැතිව දඟලති
බාලයින් ලෙස...


2024/07/06
View Poem

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

පිනෙන් තොර සැපයක්ද ජීවිතයක්ද නැත.

මුළු ජීවිතය දුක් ගෙන දෙන දදයක්ය
එක එක ගැටලු ගෙන දෙන්නේ වදයක්ය
දුක නොමැති නම් දිවියම මී වදයක්ය
සැප දෙන ඔසුව සුම්හිරි දම් පදයක්ය

ආශා ලෝබ ආදර සෙනෙහස පේම
එක එක ලෙසින් ඉන්නේ තෘෂ්ණා මේම
නසමින් මොවුන් සසරින් ගැලවෙනු කෝම
සිත යොමු කරමු වෙත අපි සම්බුදු දහම

පැතුවත් කොතෙක් සිතුවද අදිටන් කළද
වලකනු බැරිය ඉර හඳ පායන තරුද
එලෙසම සෑම දිනකම ඔබ හා මමද
වලකනු බැරිය වයසට යන එක සබඳ

කන බොන දෑ සමඟ වාතය උණුසුමද
සුවබර වාසයට සුන්දර මන්දිරද
යානද වාහනද නෑදෑ මිතුරන්ද
ඇති මුත් නොමැති නම් පින යයි පණ කෙන්ද

මිය යන බව දනිමු අපි සැම දෙන නිසැකී
එනමුත් කැමති ඉන්නට මරණින් වැළකී
එය සිදු නොවෙයි කරුමය ආ විට කැරකී
කළ යුතු පිනයි සුවසේ ඉන්නට සුරැකී
View Poem

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2024 අගෝස්තු කලාපය

ගමන...............

කඳුළු හා දහදියෙන් තෙත්ව ඇත මුළු ගතම
බුර බුරා නැඟෙන ගිනිදැල් දවයි සියොළඟම
නොනිමි පැතුමන් තුරුළු කරන්හදවත තුලම
කවදාද කොතැනකද නවතින්නෙමේ ගමන.

දුර ඈත සිතිජයට පිය නඟන තුරුම
මහා වාලුකාවක දිය දකින තුරුම
දිණුම් කණුවක පහස සිත ලබන තුරුම
වැටිවැටී නැඟිටිමින් යයි වැටෙන තුරුම

තරඟයකි නිමක් නැතඅනෙක දුර යතේ
කෙලෙස හෝ දිනිය යුතු දිරිය දා ගතේ
පැතුම සිතුමිණක සේ දුර ඈත ඇතේ
ලැබිය යුතු නිසාවෙන් පෙරමුණට යතේ.

වැටි වැටී දිව ගියත් ජයක් නැත ලබන්නේ
කටු උඩින් ගිය දෙපා ලෙයින් වද විදින්නේ
තවත් යා යුතුව ඇත දෙපා නැහැ තකන්නේ
කිමද දිවි ඇති තුරා මෙලෙසින් දුවන්නේ
View Poem

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2024 අගෝස්තු කලාපය

එයා යන්නට යද්දී මට ගුඩ්බායි කිව්වා!!

හිතවතෙකුගේ සාදයකදී...
එදා අපි මුණගැහුණේ
සමුනොගෙන සමු අරන්
කාලෙකට පස්සේ...

ඔයා දුටු ගමන්
මම මොහොතකට ගල් ගැහුනා.
හුස්ම නැවතුනා වගේ දැණුනා.
ඔයාගේ පෙනුමත් පොඩ්ඩක් විතර
වෙනස්වෙලා තිබුනා.
තවත් ලස්සන වෙලා...
මට එහෙම හිතුනා.

හායි... කොහොමද
සදාකාලික ඉලන්දාරියා..
යහළුවෝ ඔයාට ඉඟි මැරුවා.
පාසල් කාලයේ කෙලිබිමේ
හයේ හතරේ පාරවල් ගහද්දී
සතුටින් ඔල්වරසන් දීපු මතක
අතනින් මෙතනින් ලීක් වෙනකොට
ඒ සිදුරු ටික මම රිදි රිදී මැහුවා.

ඔයා මා අභියස
සුපුරුදු සිනා තවරගෙන
නොසැලී බලා උන්නා.
තත්පරයක් ගතවෙන්න
කල්පයක් බලා හිටියා වගේ දැනුනා.
මටත් නොදැනිම
හිතේ සමහර හිස්තැන්
පුරුදු ආදරෙන් පිරුනා.
මොහොතකින් ඒ උණුසුම් සුසුම්
වම් කම්මුලට දැනුනා.

මේ දුකටද? සතුටටද? නොදන්නා
විලම්බීත සයුරක මම ගිලුණා.

"මම එදා වගේම අදත් අසරණයි ෂුගර් ..."
ඔයා හෙමිහිට කිව්වා.
(ෂුගර්....ඉස්සර එයා එහෙමයි මට කිව්වේ ආදරේට )
මගේ හිත වටපිට බල බලා
හැංගෙන්න තැනක් හෙව්වා.
ආයෙමත් ඔයාගේ ඇස්
මගේ දෑසම හෙව්වා.
මම ඔහේ බලාගෙන
එදා තිබු දඟකාරකම් මැව්වා.

"බලන්න ෂුගර්....
අපේ ජීවිත කොච්චර වෙනස් වුනත්
අපි එදා වාගෙමයි.
ඔයාගේ ඔය හිනාව...ඒ වගේමයි."
හ්ම්....ඔයා දුටුවේ එහෙමයි.
පපුවේ තැලී ඉරී ගිය තැන් බොහොමයි.
ඒත් මට සතුටක් දැනුණා මා ගැනම
අහා....ඒක කදිමයි.

ඔයා වැළඳගත් මොහොතේ
මගෙ අතින් ඔයා අත හැරුනා.
මෙතෙක් හිතේ සැඟවිලා තිබූ ගිනි පුපුරු
ඉතින් සදහටම නිවුනා.
ආදරේ කියන්නේම හිතේ නොමැකෙන දෙයක් ..
යටි හිතත් මට අමතන අයුරු දැනුනා.

මම හෙව්වේම නොසැලෙන පෙමක්!
හිත දස දහස් වරටත් කිව්වා.
ඉතින්....ඔබ නමින් පිදු සෙනෙහසේ මල
මම ආපහු පුදසුනේම තිව්වා.

"ආයෙමත් යනව නම්
ගුඩ්බායි කියලා යන්න. ඒ ඇති..."
මම ආදරෙන් කිව්වා.

එයා යන්නට යද්දී
මට ගුඩ්බායි කිව්වා!!
View Poem

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

2024 අගෝස්තු කලාපය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සුනිල් වලා නව සඳ නිලුපුල් පලළු
විමල් සක් ගිජිඳු කුඹු සිරිවැස බැබළු
විපුල් පුලින රඹ සිකි ගල මුතු ළදළු
ලකල් රණලියන් සරනා බල යහළු

ඉතා නිල්වන් වලාකුළු වැනි කෙස් කලඹ ඇති, නව සඳහන් නළල ඇති, නිල මානෙල් වන් ඇස් ඇති, පබළු වැනි තොල් ඇති, කුරුළු පේළි වැනි දත් ඇති, සක්ගෙඩි වැනි ගෙල ඇති, වෙනවා ඇත්කුඹු වැනි පියයුරු ඇති, උඩැක්කි වැනි සිහිනිඟ ඇති, විශාල වැලිතලා වැනි උකුල ඇති, කෙසෙල් කඳන් වැනි වටොර ඇති, මොනර ගෙලවන් කොණ්ඩා ඇති, මුතු වැනි නිය ඇති. ළා දළු වැනි අතුල්, පතුල් ඇති සිත්කළු රන්වැල් බඳු අඟනුන් දෙස බලන් මිතුර.
View Poem

රංජනී කොස්තා වෙන්නප්පුව

2024 අගෝස්තු කලාපය

කැදළි කරා පියඹන............

කැදළි කරා පියඹන
රන් ගිරවු අතේ
තටුසලලා රඟඳෙන
සමනලුන් වෙතේ
බිම ඉසලා සරසන
මල් පියලි මතේ
ලියල එවන්නද තතු
කියවෙනා හිතේ,,,,

ගෙමිදුල ඇඳි හිරුගේ
රැස් කිරණ පුරා
රටා මවයි සෙවනැළි
සිත්තමක උරා
ගතහිරි දෙන සීතල
පවනකම නුරා
මඟ බලමින් ඉන්නම්
ඔබ වඩිනතුරා

සෙනෙහෙ පිරුණු සිත්තම්
රූ අඳින්නටා
වෙළුන දෑතෙ රැකවල්
නිති ලබන්නටා
සුව සිහිනෙක මල්ඵළ
නෙත විඳින්නටා
පැතුම දිනෙක හිමිකම්
හිත රඳන්නටා

වෙහෙස ගලන සිරුරෙන්
දාහය නිවෙන්න
හිතට සවිය දෙන්නම්
මතුදා දිනන්න
කැදැල්ලෙ රැඳි පැටවුන්
නිතිදා රකින්න
ජීවෙ පුරන්නම් මා
තනිකම මකන්න

Photo credit; Syed Ahmad
View Poem

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2024 අගෝස්තු කලාපය

ප්‍රාර්ථනා !

හැඩි දැඩි සිරුරේ
පහසට ලොල් වී
සියුමැලි හැඩරුව
ඔබට පිදුව වග
හන්තාන අරණ තුළ
පුළුල් දෙව්ර හිස
වැඩුණු උඩුකය
දුටුව සඳ මගේ සිත
නිමා කලෙහිය
දිගු වෙහෙසකර
ගමන මගේ
දෑස් දල්වා බලා ඉමි
සියො ළඟම දැවී ගිය
ආලවන්ත ස්නේහයෙන්
පිරී ගිය ප්‍රේමයක්
හමුවෙන තුරු මම
නිමේශයකින් ඔබ
කියා දුන්නේහි ආදරය
ගොතමි මල් දම රැය පුරා
මගේ තුරුලට එනතුරා …….
View Poem

Sanjaya Priyadarshana Udugampola

2024 අගෝස්තු කලාපය

Raskolnikov has done a crime again ……

To the Unsmoothing sky I said my secret remorse

Gathering dark clouds laughed at me

Retired tides faraway got a silence mood

Beheld at my long face

lovely wife shaken her smiles

sniggering at me always hit her words

“You Rascal, nothing has done to you yet”

I was numb to be a stone

One day I hid to catch that Lovely lady SONYA

I knew it was she my relief

If Prostitute she was

Soon after I set about my short episode

She handed me a visiting card

“Here is my visiting card. Call me for an appointment

One hour two thousand as you like”

She dwindles away through the black air fogs

It was SHE certainly I wonder whether she bit changed



RASKOLNIKOV - A Character in remorse in Crime & Punishment novel by Fedor Dosthosky

SONYA - A Sexual worker in the very novel but she listened to him and helped to get his salvation
View Poem

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

2024 අගෝස්තු කලාපය

පොරොන්දුව

විහිදෙයි කිරි සුවඳ මුළු මාලිගය පුරා
ඇවිලෙයි හදෙහි සෙනෙහස් ගිනි පබළු ලතා
කිම් අන් සැපත පුතුගේ මේ බොළඳ සිනා
ඉල්ලාපන් පුතේ මොනවද ඕනෙ කියා

කැරකී නටන සොඳ සුන්දර බෝනික්කෝ
ගී කිය කියා නටනා පොඩි බට්ටිච්චෝ
වේගෙන් එහෙ මෙහේ ඇදෙනා රථ පොඩ්ඩෝ
නොව අන් දෙයක් ඉල්ලමි මම හද බැන්දෝ

දැවෙනා සිතට නිවෙනා මග සොයාගෙනේ
ඒ මග ගොසින් දිලිසෙන මුතු පබළු වගේ
සොයලා උතුම් දායාදය විරිය ගෙනේ
ගෙනැවිත් දෙනවාද මාගේ පියාණනේ

දල්වා සඳ පහන් සිළු හද ගුවන අරා
නිම්මා නොමැති ගනඳුර හැර දමනු නියා
සම්මා සම්බුදුන් වෙන්නට පෙරුම් පුරා
නේරංජනාවෙන් සෙනෙහස ගලා ගියා



ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

Whats app - 0713527143
View Poem

සනත් හේමචන්ද්‍ර

2024 අගෝස්තු කලාපය

අම්බලම

සැදෑකල ගෙවෙන තුරු..
එක්වෙති මගියෝ අම්බලමට..
උනුන් සුව විමසමින්..
වැතිරෙති ගිමන් හරිනට..
එකතුව අහර පිස ගනිත්.. සැතපෙති යමක් වලදා..
උදෑසන අවදි වී..
නෙත් යොමා බලන විට..
මගේ යැයි සිතූ ඒ..
කොහි ගියෙද උන් සැවොම?
මොහොතකට නැවතිලා..
වැටුනෝය ගමනටම..
සිටිනු! යයි නවතන්න..
හැකිවීද කිසිවෙකුත්?
මවු පියන් ගිය සොවින්..
හැඩු කදුලු සයුර පැරදී..
දරුවන් සොයුරන් මිතුරන්ද...
ගිය සොවින් හැඩූ කදුලුද..
සත් මහ සයුර පැරදී..
මගේ යයි කියා හඬමින්..
යන්නෙමුද තව කොතෙක් දුර?
ලැබී ඇත දුලබ සැනයක්..
මෙ අම්බලමෙදී අද..
ලබන්නට විරාමය..
ගමණ නිම කරන්නට..
මගේ බව නිවා එම..
නැවතීම ලබන්නට.
View Poem

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2024 අගෝස්තු කලාපය

කොරහෙ නාන අලි

ගඟේ ගිලී කරවට දිය නෑව මට
ඇඟේ උලන්නේ ඇයි මේ රබර බට
මගේ දෙවි රඳුන් වැඩියත් ඇතුන් පිට
වගේ වගක් නෑ වාවනු බැරිය මට

කොතෙක් වැතිර සිටියද ගඟ දිය පොරනේ
කුඹුක් තුරු සෙවන නෑ හිරු රැස් දැනුනේ
නිමක් කොනක් නෑ මේ කරුමය ඉතිනේ
ඇතෙක් උනේ පූරුවෙ කරුමෙට යකුනේ

දිය නා බඩ පුරා බිව්වේ යස වතුර
ගිය ආ මගේ කොල දළු හොඬ අග නිතර
අය වැය ඉලක්කම් හැදුවත් ගා කෙකර
ණය නෑ රටට අපි නම් නිලමෙල විතර

ගඟේ ගිලි එදවස් දිය නාන කොට
අගේ රැහැයි ගඬ කවියක් උනා මට
රැහේ එවුන් මේ හැටි දුක් විදින කොට
ඔහේ කරබාන ඉන්නද ? කියන් මට

ඇතෙක් වැහැරුනත් කොරහේ ලගිනු බැරි
කොතෙක් අසා ඇතිමුත් ඒ පෙගුන පොරි
කටක් ඇරන් කීවත් යලි යලිත් සොරි
හෙටක් නැති රටක බල සකි ඇසල සිරි
View Poem

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2024 අගෝස්තු කලාපය

ආදරය බෙදමි

මුලු හදින් එක්වරම
පෙම් නොකර කිසිවෙකුට
හද නැගෙන ආදරේ
සම සමව බෙදන්නෙමි

ඇස් පිනන ලස්සනට
විඳ සතුට හදවතින්
වැය කරමි කාලක්ම
යළි දෙනෙත් නොගැටුනත්

ආදරය කරුණාව
උතුරනා සිත් වලට
වෙන් කරමි තව ටිකක්
දුකක් නැත නොලැබුණත්

මගේ හද අඳුරනා
පෙමින් මා සනසනා
හදක් වෙත පවරමී
තවත් හතරෙන් එකක්

තිරව තැන්පත් කරමි
ඉතිරි කොටසම හදේ
දෙන්න ආදරෙ මගේ
තවත් අය ඉල්ලුවොත්
View Poem

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2024 අගෝස්තු කලාපය

අනතුර

පළමු පෙම ටයරයක් වාගේ
ගැලවුණා වේගයෙන් යද්දී
ජීවිතේ කුඩු නොවී බේරුණි
හීන බිම සමතලා වෙද්දී

රෝද හතරේ ඇදය දිගහැර
බොඩිය ටින්කර් කර තියා
තැළුණු හීරුණු තැනට කැට්ලොයි
පුරවලා ගමනක් ගියා

අතේ ගැවසුණ ලෙසට රුපියල්
පිටත සායම් ලෙස උලා
කාලයක් ගතවුණා එන්නට
කොට උඩින් බැස නැඟිටලා

බිඳී ඉරිගිය හෙඩ් ලයිට් දෙක
දුටු දෙයින් ඩිම් විය වරක්
හැලුණු ටයරය අලුත් රථයක
සවිවෙලා දුටුවා දිනක්
View Poem

සපුමල් බන්ඩාර - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

තරග බිම.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
ඒයන ගමනට පිංකර ගන්නේ
ලැබුවද නෙත්මිනි දහසක දසුනේ
නිවන දකින්නට අපහට නොමවේ

මා රැකගන්නට සතුදේ ඇතිවේ
දිවිය ගෙවන්නට කාබී සුවසේ
ඔහු සතු මාහට නැතිදේ පෙනුනේ
එතැනින් දුවනා තරගය ඇරඹේ

ලෝකය සිසරා විසිතුරු දසුනේ
ගෙනැවිත් අත්ලට අතහරි නිසිසේ
සතුකර ගන්නට යුතුබව කියදේ
තරගය අපබව අපහට නොදැනේ
View Poem

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2024 අගෝස්තු කලාපය

සෙවීම

සොයන විට ඔබ
මා නෙත් පුරා
ඇවිළේ දැයි
රාගයේ ගිනිදැල්ල
සොයමි මම
ඔබේ එක්
නෙත් කැල්මක
වේදැයි
ප්‍රේමයේ සඳ එළිය..
View Poem

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

2024 අගෝස්තු කලාපය

දෙවැනි පහණ

<img src="https://londonkavi.com/wp-content/uploads/2024/07/image.png" alt="" width="294" height="543" class="alignnone size-full wp-image-23486" />
View Poem

සුනීශා සෂී සමරවීර

2024 අගෝස්තු කලාපය

ගිම්හානයේ වන පෙතක අසිරිය

ගිම්හානය ලබන කලට පාට පාට මල් පිපිලා
මී මැසි ගුමු ගුමු නාදය මලින් මලට රැව්දීලා
උදේ රැයින් කිචි බිචි හඬ වෙනදට වැඩියෙන් ඇසිලා
රන්වන් පාටින් හිරුරැස් ආකාසේ පැතිරීලා

ගස් වැල් දළු දා ලියලා මද සුළඟේ නැලවෙනවා
ඈත දිවෙන තණ නිල්ලේ පොඩි පිනි කැට දිලිසෙනවා
කුරුළු රෑන් රංචුපිටින් කොහෙදෝ පියඹා යනවා
උසට උසේ නිල් අහසේ පුළුන් වලා පාවෙනවා

පුංචි පුංචි ලේන පැටව් ගහින් ගහට පැන යනවා
හා පැටවුන් නිසසල වී අනතුරකට කන් දෙනවා
මුව පැටවුන් විදුලිය සේ පඳුරු උඩින් පැන යනවා
බලු පැටියා ඉව අල්ලා යුහුසුළු ගමනින් යනවා

දිය බුබුලක මිහිරි හඬින් සවනත පිනවා යනවා
වනමල් මත සමනලයින් තටු සලමින් රඟදෙනවා
ගස් අතරින් බේරුනු හිරු තුරු හිස් මත නැලවෙනවා
ගිම්හානයෙ උදා සිරිය අරුණෝදය සරසනවා


පුංචි අපට කවි සින්දු
View Poem

තුෂාරි ජයසිංහ මහනුවර

2024 අගෝස්තු කලාපය

මැරූ සිහිනය

සීත හිරිකඩ මුවා කර මම
වසාගෙන රැකවරණයම දුන්නා
ළපැත්තට කන තියා බල බල
හුස්ම වේගය මැනල බැළුවා
කිරි හිනාවක් මෝරනා කළ
තුටින් ඉපිලී මලුත් පිපුණා
නුඹෙ කඳුළු බිඳු දවා හදවත
ලැව් ගින්න සේ සිරුරෙ දිව්වා

සිප් හලේ දුටු හපන්කම් නුඹේ
උදම් ඇනුමට වචන හෙව්වා
තුරුණු ඔය නෙතු කතා කළ හැටි
ඇස් කොනින් මේ මමත් දුටුවා
ජීවිතය උගනින්න යයි යළි
සරසවිය ආරාධනා කෙරුවා
මෙතෙක් පැටලැවි තිබූ අත මම
ලිහිල් කර නුඹ මුදාහැරියා

සොඳුරු සිහිනයට ගෙවැදී
පැතුම් මල් සුන්දරව පිපුණා
උදම් රළ විත් අහසටම නැග
ලෝකයම සුනු විසුණු කෙරුවා
සිතත් හූරා කොනිති ගසලා
හුදකලාවට දමා තිබුණා
මිනිස් වෙස් ගත් රුදුරු රකුසන්
බිදුණු සිත පාරවා තිබුණා

ජීවිතය සරසා සුවඳ දුන්
සිහින පැස ගිනි අරන් තිබුණා
කයට රිදවුම්, තැලුම්, සීරුම්
හොඳ කරන්නට බෙහෙත් තිබුණා
බිඳුණු හදවත් පාස්සන්නට
බැරිව දිව ඔසු පැරදි තිබුණා
දෑස්වල දිලෙනා කාන්තිය
සරවියෙ උන් මරා තිබුණා.


2024.07.19.
View Poem

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

2024 අගෝස්තු කලාපය

කොහේ සිටියත්

පෙම් විකසිත පැරීසියේ සද එලියේ
මැද පෙරදිග, තනිය දැනුන ඉතාලියේ
හිරු නොබසින තැන, මෙල්බන් සැනකෙලියේ
එදා ඇසුනු ගී පමනයි ලග සිටියේ

අම්මා සිහිවී කදුලක් ගලත ඔහේ
මීවිත එසවෙන දුටුවිට එවුන් රැහේ
අමරදෙව් රදුන් මාලිනියන් ද ඇහේ
හීන හොයා ආ ගමනක කැලැල් වැහේ

වෙනස් උනත් දෙස, නැතුවත් කසී සලූ
දවස් ගෙවී දිවියේ ඉම උනත් කලූ
හද ගැහෙනා තෙක් ඉපදුන බිමෙන් නෙලූ
ගී මල් වල සුවද පමනි ගමන් මලූ
View Poem

උපාලි අත්තනායක මහනුවර

2024 අගෝස්තු කලාපය

සිතුවිලි

එක්වූයේ අප
නොහඳුගෙනයි
වෙන්වන්නෙත් අප
නොහඳුගෙනයි

භව සසරේ
ගෙන ආවේ
සිතුවිල්ලක් පමනයි
භව සසරේ
ගෙනයන්නෙත්
සිතුවිල්ලක් පමනයි

සංසාරේ පෙර
පුරුදුරටා
නැත හඳුනාගෙන
මියෙනතුරා

ජීවිතයේ
මොහොතින් මොහොතට
උපත විපත
සිතුවිලි පමනයි

Photo credit; Shahalyyy !!!
View Poem

වජිර ජයවර්ධන

2024 අගෝස්තු කලාපය

හිතවතුනි....

හදපු තැන්, හැදුන තැන්
දකිනකොට
දින දින බිදෙනවා
දරන්න බැරි තරම්
හදවත කකියනවා

හිතවතුනි

සාක්ෂි නැතුව
තීන්දු දෙන්න එපා
හැම නඩුවකටම
විත්තියක් තියනවා. 🙋‍♂️

Photo credit; Levi Meir Clancy
View Poem

වෑත්තෑවෙ හිමි

2024 අගෝස්තු කලාපය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ඇතත් සිත ආසා
තම දිවි රැකුම පිණිසා
සිටි මව්පිය ලෙසා
නොකිය බස් ගුරුවරුන් වෙහෙසා
View Poem