Category: සඳැස් කවි

මල්බෙරි ගස
මට මතක ඇති කලෙක සිට
ඔබ උස් ව වැඩුනා මෙතැන
එබී මේ පවුරෙන් මෙපිටට
චීනය ගැන වත්
සේද පණුවන් ගැනවත්
දැනගන්නට පෙර
හැඳිනුවා මා ඔබේ ඵල
ඔබේ දම් පැහැය
පොඩිවී මගේ දෙපයට
පැතිරුණා මිත්තනියගේ පලස් මත
කවුරුන් හෝ නැවක නියමුවෙක්
අනාගතයට සෙවනක් මවන්නට
මෙහි මේ පැලය සිටුවන්නට ඇත
මේ සිසිරයේ දී රථයක් ගැටී
අහිමිවුණා ඔබේ පහත අත්තක්
ජීවිත කාලයක්ම
ඔබව හැඳිනූ ඒ මැහැල්ල
වැළපුනා, ඒ තුවාලය දැක
කිසිම මුහුණකට වඩා
රැළි වැටී ඇත ඔබේ මතුපිට
ඉතා සෙමෙන් දිවි ගෙවන්නෙකි ඔබ
ඔබට අපේ කටහඬ ඇසෙන්නේ
සලබ පියපත් හඬ ලෙස ද?
ඔබට අප ව පෙනෙන්නේ
දුක්බරම දේ වෙත ලූ නැංගුරම්
තදින් අල්ලාගත්
මුල් අහිමි වූවන් ලෙසද ?
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Mulberry’ by Craig Arnold
ඇමෙරිකානු ජාතික කවියෙකු වන Craig Arnold, University of Wyoming හි කාව්‍යකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් විය. ඔහු තම නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් දිනා තිබේ. 2009 දී කවි පොතකට කරුණු සෙවීමට ජපානයේ ගිනි කඳු සහිත දූපතක සංචාරයේ යෙදුණු Arnold ඒ ගමනේදී අතුරුදන් වී තිබේ.

ගමේ කඩේ !
පොඩි කඩ පිලකි
සරුබර නැත
ජය පහට
පොඩි පොඩි
කෑම සමඟින්
තේ රස බෝම
පත්තර දහක
විස්තර දත හැක
කදිම
කුසට ද ඔළුවට ද
ලැබදෙයි
හොඳ පදම
ලොකු ලොකු
කාර්වල එන
ලොකු මහත්තුරූ
චිරිස් බිරිස්
පළඳින
සුදු නෝනාවරූ
යතොත් මෙතැන
පහුකර
ගමනක් අතුරූ
එන බව කියයි
මුදලාලි
ඇතුව ගරුසරූ
බොයිලේරුවේ
තේ නිතරම
උණු වෙනවා
හැලප ලැවරියා
පිට්ටුත්
රස දෙනවා
ඉඳි ආප්ප
කිරි හොදි
බඩ පුරවනවා
ගමේ කඩේ
ලඟ කවුරුත්
නවතිනවා …. !

හුදෙකලාව……….
සිහින මිඳුන සඳ තරු නැති අහසේ
අඳුර ගලායන විටෙකදි රහසේ
මියගිය සිතිවිලි යළි ඉපදී ඇත
හුදෙකලාවෙ මා තනි වුනු මොහොතේ.
විකසිත මල් පෙති හිනැහුණු විලසේ
මිලින වු නෙතු කැන් දිලිසුණු
දවසේ
එක් වුනු මේ කුළු විසිරුණු
මොහොතේ
හුදෙකලාව මා සමඟය
එකසේ.
හිම මෙන් සිත සීතල වූ
දවසේ
ගිනි සේ දැවෙනා ලතැවුල්
අතරේ
පිණි මෙන් පිරිසිදු සිත
නොසැලෙන සේ
හුදෙකලාව මට පිහිටකි
පෙර සේ.
සිතුවම් පටයක රෑ සේ
මනසේ
පෙඟෙනා දෙනුවන් කඳුළැලි
අතරේ
ගලනා ගඟුලක ගමනක්
විලසේ
හුදෙකලාව මා රැක ගති
පණ සේ.
මායාවක පැටලුණු සිත මුදන
එකම කලාවයි
සේයාවක රැඳුන මතක ඉපිලෙන
සඳ තලාවයි
වීණාවක මියුරු සරින් සිත
නිවනා වෙලාවයි
අතීතයක මතක සුවඳ
ගෙනෙනා හුදෙකලාවයි.

සුසුමේ පැසසුම බැණුම නැති
සුසුමින් හෙලනා
ස්වර. තත්. පෙලෙනා
හඩ ඉන්. නැගෙනා
කට. හඩ කියනා
ක ඛ ග ඝ. කණ්ටජ
ත ථ ද ධ. දන්තජ
චඡ ජ ඣ. . තාලුජ
ප ඵ බ භ ඕස්ටජ
මුව තුළ තැන තැන
හඩ වල්. උපදින
ඒ එක්. වූ. තැන
වදනක්. බිහි වන
හර සුන්. හඩවල්
ගැසුවත්. ගොඩවල්
ඒවා. හැම කල්
හර සුන්. හඩවල්
ඒ පද. එක්වී
එයි. බැණුම ක්. වී
නැවත. සකස්. වී
එයි. සුබසක්. වී
————————————————-
[தூற்றுதல், போற்றுதல்
இல்லையே மூச்சுக்குழல்
மார்பை. விட்டு
வெளியேறும் மூச்சு
தொண்டையில் கொண்ட
சத்தத்தையோடு
வாய்க்கு வந்தால்
வல்லினம் மெல்லினம்
அத்தோடு இடையினம்
குறில்கள் நெடில் கள்
வேறாக கொண்டால்
அர்த்தமில்ல ஓசைகள்
சேர்த்து. கொண்டால்
தூற்றுகள், போற்றுகள்
————————————————
No blames or praises in the breath
Breath that released
from dual. lungs
gets the vibration
of vocal. Chords
There it produces
gutterals, palatels
dentals. nasals
In mouth. cavities
All five vowels. plus
consonants, phonemes
meanless voices and
meanless sounds
join to produce
Praises. and. blames

කවි සිතත් මැරිලා
පෙර දවසක ගෙතූ කවියෙ නුඹ සිටියා හැමදාමත්
වෙර දැරුවෙම රැකගන්නයි නැතත් සිතට සැනසීමත්
අර ඇඳි හැටි මතකයි නිති නොතිබුණු කල විසදීමත්
සැර වැඩි වුණි වදන් පවා දුර ගියෙ මුව සිරියාවත්
ඔහේ බලාගත් වන හිද මනෝ ලොවක තනිවෙලා
කොහේ සිටන් හෝ ඇවිදින් ඔබ හදවතෙ නැවතිලා
ඇහේ කොනක් තෙත් කරමින් පෙර මතකය සිහිවෙලා
ගැහේ ගතම රිදුමක් වී ඉන්නද දුක ඉවසලා
පදවැල් ගෙතු දුන් සිසිලස ලෙස සුවඳැති පවන සිහින්
මුතුවැල් හැඩ අකුරු පේළි ඇහින්ද බල බලා ඇහින්
තුරුවැල් මහදේ බිඳගෙන මාරුතයක් හමා ගිහින්
සුවිසල් ගිරිකුළු කවිසිත මියැදී වෙන්වෙලා රැහින්

ගෑනුම තමයි
හමු වෙලා තියෙනවද toxic ගෑනුන්ව
නිතරම ප්‍රශ්නයක්ම හොයන
නිතරම ප්‍රශ්නයක් ඇති කරන
ප්‍රශ්න වලට උත්තර පෙනී පෙනී
ප්‍රශ්නයක්ම තෝරගන්න toxic ගෑනුන්ව !!!
හමු වෙලා තියෙනවද මහන්තත්ත ගෑනුන්ව
වටේ පිටේ බහුතර පිරිමි
එයාට කැමති වෙන්න ඕන කියලා හිතන
එහෙම කරව ගන්න
ඒ පිරිමි නොදැනම
ඒ පිරිමි ලව්වාම
තමන්ට ඕන දේ කරවගන්න
ඒ පිරිමි ගාව ඉන්න
තමන් වගේම ගෑනුන්ව
ඒ පිරිමි එක්කලාම පහත් කොට සලකන
තව ගෑනියෙක්ට හිනා වෙන
මහන්තත්ත ගෑනුන්ව !!!
හමු වෙලා තියෙනවද outgoing ගෑනුන්ව
තමන්ගේ relationship එක
පුදසුන මත තබා
පැන් ඉස රැක ගන්නා
අනික් ගෑනුන්ගේ relatioship
බල්ලට ගියාවේ හිතන ගෑනුන්ව
තමන් නිසාවෙන්
බිඳී විසිරෙන සබඳතා දිහා
නිවී සැනසී බලා සිටින
outgoing ගෑනුන්ව !!!
හමු වෙලා තියෙනවද රිද්දන ගෑනුන්ව
තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ
හදවත නෙත් අගටම අරන් අඬවපු
තම හදවත කීතූ වලට ඉරෑ දේම
අනික් ගෑනුන්ටත් සිද්ධ වෙන විදියට වැඩ කරන
out going ගෑනුන්ව !!!
හමු වෙලා තියෙනවද
කිසිම ගෑනියෙක්ට ගරු නොකරන
කිසිම ගෑනියෙක්ට වටිනාකමක් නොදෙන
තමන්ගේ දේ නාග කන්‍යාව සේ රකින
අනික් ගෑනුන්ව විනාශ කරන
toxic
මහන්තන්ත
out going
රිද්දන
ගෑනුන්ව !!!!

දික්කසාද අවනඩුව
කන්තෝරුවක් වගේ ආදරය බෙදලා
බින්තැන්නෙ කුමාරිය සිරගෙයක දමලා
උන්දැලගෙ පම්පෝරි ඔක්කෝම වහලා
ගෙන්නුවලු ජූරියට නඩුවකට කියලා
ඇත්තනම් මේකයි කුමාරිට වයසයි
පුත්තලම් කසාදෙට අවුරුදුත් විස්සයි
වත්තෙ පිටියේ වැඩට පවා හරි දස්සයි
අත් දෙකෙන් තරහකදි ඉස්සුවේ කොස්සයි
බුලත් විට කන්න ඇගේ රාළ මරු හපනා
ඉලත්තට්ටුව හිස්ව ඇතොත් අඩි හපනා
වළල්ලෙන් ගස් ගිහින් කිතුල් මල් කපනා
බළල් තඩියෙක් වගේ රෑට ගෙයි දපනා
පතක් විතරක් තිබුණු හාල් ටිකකුත් පිසා
දිනක් බත් මුට්ටියට වැටුණු ගෙම්බෙක් නිසා
කනක් නෑසෙන තරම් දෙන්නාම කර ගොසා
ඇහැක් කණ කළ වැරැද්දට ඇයට මේ දොසා

බාල -ඝාතිකා.
දෑස්වල මගෙ අඳුර පිරුණා
සවන් බිහිරිව යනෙනු දැනුණා
උගුරෙ සිර වී වචන බිඳුණා
මොහොතකට හද නතර කෙරුණා.
මහා කල්දේරම්හි පැසෙනා
ලෝ වතුර පෙණ බුබුළු දමනා
සිව් අපාවල් දුමින් පිරුණා
මොහොතකට මම මියෙණු දැනුණා .
සතර බඹ ලොව සදෙව් ලෝකය
ගිනි වැදී රන්වනින් දිළුණා
කවාකාරව දකින සැම දේ
චතුස්තල වී සිරසෙ හැපුණා
සියොලඟම ගල් වුණා වාගෙයි
මොහොතකට සිත හඬනු ඇසුණා.
දහම් පොත් පිටු ඉරී තිබුණා
දේව මන්දිර කඩා වැටුණා
සක්වලම කළු කුහරයක් සේ
සියළු ඉර හඳ නිවී පෙනුණා.
මහා මායා මැරී දැවුණා
කන්‍ය මරියා සොහොන් කෙරුණා
නබි තුමනි ඔබෙ මව්ද සිතුණා
මොහොතකට මන විකල් කෙරුණා .
කොටහලුව ළඟ නැවුම් දිය නා
පිපි මලකි නුඹ සිටින රුවිනා
ඝාතිකාවක් කියනු කෙලෙසද?
හිරිමලියෙ මම පියෙකු බැවිනා.
බැද්දෙ පසළොස්වකක් නැතිනා
නිසා කළුවර තුළම ගිලුණා
මවුන් මැරුවද – මරුණෙ නුඹමද ?
මොහොතකට හරි මමත් මරුණා.
බන්ධනාගාර වෛද්‍ය ඒකකය .
බදුල්ල .
2023.11.17

A View from the bridge
In a quaint abode
Wear a whispering bridge
Lived a girl with dreams
Beyond her age, a smidge
By the meadow’s grace
Her heart would roam,
A soul enamoured by the flowers
That softly bloom.
She danced in the wind
Her laughter unfurled
With every step she took,
She’d paint the meadows’ grounds
With blooming flowers and galore.
Beneth the bridge
There streams a gentle croon
That sang lullibies to the stars snd moon
It’s water whispered secrets,
To the girl whose dreams,
Knew no bound, no end.
A girl by the bridge
In the meadow’s embrace
Living a life full of
Wonder and grace.

නොමිනිසුන්
මිනිසුන් නොමිනිසුන් වී
අවි මුගුරු අත දරා
හලා රුධිර ගංගා
යුද වැදී තරඟයට
මිනිසුන් නොමිනිසුන්වී
වැසී නෙත් රාගයෙන්
තලා පාගා කැකුළු මල්
වනසන්නේ හෙට දවස
මිනිසුන් නොමිනිසුන්වී
තව සිතක කඳුළක්
දැක නොදුටුවා සේ
දිවයන්නේ උමතුවී

ආදරයද මේ
ඉරි තැළුන පොලව මත ගඟක් වී ගලන්නමි
තරු තියන ගගන මත සඳක් වී
දිලෙන්නම්
හිරු නැගෙන උදෑසන මලක් වී
පිපෙන්නම්
හිත රැදුණු නුඹේ ලඟ උණුසුමම
විදින්නම්.
නෙතු දකින හීනයේ ඔබෙ රුවම
දකින්නම්
සෙනෙහසෙන් ළං වෙලා දිවිමගේ
රැදෙන්නම්
උපදිනා හැම සසරෙ නුඹව මම
පතන්නම්
හද රැදුනු සොඳුරු පෙම ඔබ නමට
පුදන්නම්
මව් පියන් අසිරි මැද රන් හුයෙන්
බැදෙන්නම්
තැනූ පෙම් කැදැල්ලේ ඔබ ලඟම
හිදින්නම්
පුංචි කිරි සිනාවෙන් ගෙපැල එලි
කරන්නම්
මියන තුරු නුඹ සමඟ ආදරෙන්
රැදෙන්නම්
2023/11/07

ගුරුතුමියගේ රචනාව
රචනා පාඩමට මා දුන් උපදෙසට
අලුතෙන් කොපි පොතක් අරගෙන ආවාද
වටයක් දෙකක් උන් අතරින් යන කලට
දුටුවෙමි බිම බලන් උන් බව වැඩි පිරිස
වේවැල අරන් විමසන්නට හැදු විගස
දරුවෙක් “පොත් ගණන්” යැයි කීවෙන් සැරට
උඩගොස් බිම වැටුණි වේවල හිටිවනම
බැස යමි උන් ළඟට දැන් කාගෙද වරද
“ගල් කූරෙන් එක වරයි අපි නම් ලිව්වේ
අද පොත් ගණන් මොනවද උඹ පුරවන්නේ?”
අත්තම්මා වරක් මතකයි මට කිව්වේ
එය විමසන්නට අදයි හිත ආපහු දිව්වේ
ලිය ලිය කෙළවරක් නැතිවම පොත් පුරවා
වෙහෙසම මිසක නැත ඔළු ගෙඩියක් පුරවා
රචනය තමයි “මා අත්තටු ලද ගිරවා”
මිදුලට යමු ළමයි අහසට නෙත් හරවා

නොකියාම හිරු නික්මුනා
හිරුට සඳු හමුවෙන්න හිතුනත්
හැන්දෑ අහසේ ලංවෙලා
දැවී ගිණි ගෙන දිලෙන හිරු ලඟ
ඉන්න සඳ නොඑනා නිසා
වළාකුලකට මුවා වී හැංගුනේ
සඳ රැවටෙයි සිතා
ගොසින් දිනකර – මගෙයි ගොම්මන
කියා සඳ ඒ යැයි පතා
වළාකුලටත් නැතිව හිත් පිත්
හනි හනික පාවී ගියා
කණක ලෝහිත රජත හිරු රැස්
අහස් ගැබ පතුරා තියා
අදට යන්නට හිරු ගියා යැයි
සිතුව සඳ එන්නට කියා
පළමු අඩියම තිබ්බ එළිපත
රැගෙන ආපහු ගෙට ගියා
මුළා කර ඇස් වළා කැටියෙන්
වසා රළු රැස් සඟවලා
පුළුස්සා හළු කර දමන්නද
හිතුවෙ රවටා ගෙන්නලා
අසා සඳ එව් ලිපිය ලැබුනා
හිරුගෙ රතු ඇස් දිලිසුනා
කඳුළු මදි රළු රැස් නිවන්නට
දැවෙන ගිණි තව ඇවිලුනා
රළු රැසින් නොව ඔබ දවන්නට
මුහුණ දකිනට සිත් උනා
හැංගිලා ඒකමයි බැලුවේ
උනු වරද මට තේරුනා
දැවෙන රළු ගිණි නිවාගන්නට
දියඹටම තව ලං උනා
කියා ගන්නට සිතා උන් කව
නොකියාම හිරු නික්මුනා

හුස්ම
වනසන්න හරිත ලොව නුඹ සිතින් වෙර දරා
සනසන්න කුරුළු කුස හිතුවාද ඇස පුරා
රැකගන්න පරපුරක නැසුනු දිවි සිත වරා
විඳවන්න දැන් ඉතින් දෙවියො නැත ලොව සරා
හිරු සඳුට වැඩි උසක සිටින දෙවියෝ බලා
නුඹ යදින තුරු මමද සිටිමි අහකට වෙලා
උකුසු ඇස මග බලනු නොදැක කිම මං මුලා
නරපණුවො කල්පයෙම පව් කතරෙ ගිලීලා
වාරු නැති දෑතින්ම මව් කුසය කොනිති ලා
හෙට දිනට ඵල ලන්න බීජ ටික වපුරලා
සිඹගන්න සැරසුනත් ඇයගෙ සිත සනසලා
උසුලන්න බැරි දිවිය පොළවටම බර වෙලා
මහපොළව ආකාසෙ නූහුලන දුක් දිදී
සිනාසුන මා සබඳ අද තනිව වද විඳී
ගිලිහිලා යන සුසුම් වාතලය වෙත බැඳී
දුක් කඳුලු සයුරෙ ඔබ හුස්ම නැතිවම නිදී

මවුබිම හැර දා
කඳු නිම්න කළල් දිය මතින් පා තබමින
සිඳු අඟන තරණ කොට පැමිණියෙමි සුර විමන
සාධු දන වෙති මෙපුර නිති රජ කරන
මුදු සිහින හද ගැබේ සැබෑ වී ඇත සිතින
සිසිල් වා රැළි කුසුම් කැන් නළවමින
ළකල් දෙරණේ සොඳුරු ගති ඔප කරන
විසල් සුර මැදුරු අහස් කුස සිප නැගෙන
සියල් දන සුව ලබන කේතුමතී රජ දහන
සොඳුරු මුත් සත්තකට මේ පුර ද පුර දන ද
අඳුරු වෙයි සිත නේක සිතිවිලි ගලා වැද
රුදුරු තනිකමකි මිතුරු ජන ගඟක් මැද
කවුරු බින්දාද මා ලැබූ සුව නින්ද
මිතුරු පස මිතුරු මැද වින්ද හැටි දුක් ගැහැට
සොදුරු වෙස් ගෙන යළිදු සිත දවන්නේ කුමට
නුදුරු දින මෙපුර හැර දා යා හැකිද මවු බිමට
කවුරු පිහටක් වේද ද්‍රෝහියෙකි මං රටට
කුසට අහරක් නැතද රජෙක් වුයෙම් නොවෙද
රුවට මා ළ ඟින් සිටි යටත් වැසියන් කොහිද
හදට නොදැනේ සිසිල මවු රටේ මං වින්ද
කුමට මා උපන් බිම හැරපියා ආවාද

නොගොසින් එන්ට බැරි බවයි.
දෙවෙන්දොරා නොරිකො ඔබ
පමණක්මද අත් දුටුවේ
ලොව පවතිනවයි කියනා
යෑමයි ඊමයි.
ඒ විතරද,
නොගොසින් එන්ට බැරි බවයි.
නෑවිත් යන්ට බැරි බවයි.
සත්තකින්ම ලොවැ ඇත්තේ යෑමක් හා ඊමක් මැයි,
ප්‍රභවය හා කෙළවර’තුර
යෑම් කොතෙක්දැයි නොදනිමු,
ඊම් කොතෙක්දැයි නොදනිමු,
අනේකවිධ සමාගම් ද
සම්පයෝග විප්පයෝග ලෙන්ගතුකම් සන්තාපද
මහ සයුරේ දිය බිඳු මෙන්
වැලි කතරක දූවිලි මෙන්
ගණනක් මිම්මක් නැතුවා,
හිතා ගන්න බැරි තරමින්
දෙවෙන්දොරා නොරිකො සං, නොකිව්වාට අපි දන්නවා
කවුද කියා දුන්නේ මෙහෙම
මගේ අමා මෑණියන්ගේ
බණ ඇහුවනේ එක දවසක,
මෙහෙම නේද කියලා දුන්නේ
ඇත්ත කියන්නකො නොරිකො,
ඇත්ත නේද දෙවෙන්දොරා.
යෑම හොඳයි, ගොස් ඊම ත් ඊට හොඳයි
ඔව්! ඔබ හරි
ලොවැ ඇත්තේ මේ දෙකම නේ
නොගොසින් එන්ට බැහැනේ
නෑවිත් යන්ට බැහැනේ
අපි හැමෝම එනවා.
අපි හැමෝම යනවා.
කවදා කොතැනකදී හෝ නැවතීමක් වෙනවා.
එදාට,
සැනසුම් සුසුමක් ලබන්න
සතුටු උදානය විඳින්න
ඔබත් එතැන නැතුවා
මමත් එතැන නැතුවා.

නොපෑහීම
කෝ…කොහෙද…
කිසි බැඳීමක්
හදවත් එකට යා කොට
දෙදෙනා ම තනිවී
හුදෙකලා ලෝ දෙකක…
ඔහු දකිනු ඇති
තනිවම සිහින …
මම ද සිහිනෙක ගිලී
තනිවම …
දෙදෙනා දෙතැනක
තනි තනිව දකිනා සිහින
නොපෑහෙන දීගෙක
තිත්ත මිදි යුෂ එකම බඳුනක
පුරෝගෙන අපි පුරමු සව්දිය…
2023.11.03

විහඟ ගී අඬහැරය
අඳුර මුනිවත රකින රහසක
නිතර දකිනා රඟන මුහුණක
ගොදුර සොයමින් රකින වෙහෙසක
සසර ඉකිබිඳි මොණර කොළයක
ප්‍රේමයක් තිර නොදුටු සිහිනෙක
පෑහි ඉඳුරන් වෙලී යහනක
වෑහෙමින් මධු බිංදු එකිනෙක
බෝකලා කුමුදිනියො කඳුළක
ලංසු දී මල් නෙලා පරසතු
මත් බිඟුන් මෘදු වෙලා දැනමුතු
පස් පවෙන් වෙන් වෙලා පෙර නතු
උන් සොයයි සලකුණක් ලඳ සතු
බොලොඤ්ඤා,ඉතාලිය

හිත බැඳෙන්නට කාරණා.?

පුවතක් – මහා වකුගඩු ජාවාරමක සුලමුල
නිහඬතාවයකි රජයන
නිහතමානීව රකිමින
නියතයකි මේ ජීවිත
කඳුළු බිඳු කැටිති විසිරෙන
ගෙන්දගම් පොළව මතුපිට
නින්දගම් කිසිත් නැත මට
වින්දනම් දුක් කම් කටොලු එපමන
නින්දනම් කෙසේවත් ඇස අග නැත
සින්දුනම් කොපමණ ඇතත් අද
බිංදුනම් බැංකුවේ එකක්වත් නැත
දෙකක් තිබෙනා නිසා
එකක් ගලවා විකුණා
උඹේ ඔය සිනහව බලා
මැරෙනතුරු ඉන්නම් සදා
මන්දාර ලියනගේ

හෙලයේ මහා කෝකිලාවිය නන්දා මාලනී මැතිණිය වෙනුවෙන් ගෞරවයෙණි.. !!!
දුක දිනා දිග්විජය පෑව මියුරාවී
සත් ස්වරය සත් දිගම පතල කල ප්‍රේමි
කිත් යසස් දෙපා මුල අතුල සී දේවී
සියක් පරපුරක මුල් සරු කෙරූ මෑණී
අභීතව පවන සේ විසුල මායාවී
බෝ පතක සිසිල ඉස හිත් නිවු සැදැහි
හඳ හාමි ගේ ලයේ නැලවු ගී මිහිරි
ප්‍රේමය ම කිමැයි කී සොදුරු හද මියැසී
යනෙන මඟ කළන මිතු පිරිවෙරින් සරන්නයි
මහරු හද පුරා නැගි සෙනේ ගඟ බෙදන්නයි
කල්පයක් තෙක් ඉතිරි ඔබේ හඩ අපේමයි
නිදුක් වී නිරෝගව තුටින් නිති සරන්නයි… !!!

𝑴𝒆 𝒘𝒊𝒕𝒉 𝒎𝒚𝒔𝒆𝒍𝒇
𝑵𝒆𝒗𝒆𝒓 𝒇𝒆𝒆𝒍 𝒍𝒐𝒏𝒆𝒍𝒊𝒏𝒆𝒔𝒔
𝑨𝒔 𝑰 𝒉𝒂𝒗𝒆..
𝑳𝒐𝒕𝒔 𝒐𝒇 𝒔𝒘𝒆𝒆𝒕 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔….
𝑻𝒉𝒐𝒖𝒈𝒉 𝑰 𝒉𝒂𝒗𝒆….
𝑺𝒂𝒅 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔
𝑻𝒉𝒆𝒓𝒆 𝒘𝒐𝒖𝒍𝒅 𝒃𝒆 𝒏𝒐 𝒓𝒐𝒐𝒎
𝑰𝒏 𝒎𝒚 𝒎𝒊𝒏𝒅…
𝑨𝒎..
𝑯𝒂𝒑𝒑𝒚 𝒘𝒊𝒕𝒉 𝒎𝒚 𝒉𝒂𝒑𝒑𝒚 𝒎𝒐𝒎𝒆𝒏𝒕𝒔….
𝑾𝒉𝒊𝒄𝒉….
𝑨𝒍𝒘𝒂𝒚𝒔 𝒔𝒕𝒓𝒆𝒏𝒈𝒉𝒆𝒏 𝒎𝒆
𝑾𝒊𝒍𝒍….
𝑰𝒔 𝒕𝒐 𝒍𝒊𝒗𝒆 𝒂𝒍𝒐𝒏𝒆
𝑩𝒖𝒕….
𝑰 𝒌𝒏𝒐𝒘
𝑫-𝒅𝒂𝒚 𝒘𝒊𝒍𝒍 𝒅𝒂𝒘𝒏
𝑼𝒏𝒕𝒊𝒍𝒍 𝒕𝒉𝒆𝒏
𝑰 𝒄𝒂𝒏 𝒍𝒊𝒗𝒆 𝒂𝒍𝒐𝒏𝒆……
𝑫𝒓 𝑹𝒂𝒎𝒚𝒂 𝑨𝒕𝒕𝒂𝒏𝒂𝒚𝒂𝒌𝒆
𝑼𝒌𝒅𝒆𝒏𝒅𝒖𝒈𝒐𝒅𝒂,
𝑷𝒆𝒕𝒉𝒊𝒚𝒂𝒈𝒐𝒅𝒂,
𝑮𝒆𝒍𝒊𝒐𝒚𝒂.
19𝒕𝒉 𝑵𝒐𝒗𝒆𝒎𝒃𝒆𝒓 2023

‘පවන’
කොළඹ ෛවද්ය විද්යාල සිසුන් වෙනුවෙන් 1987 අගෝස්තු 16 වැනිදා නන්දා මාලිනිය ගැයූ “පවන” පුසංගය වෙනුවෙන් නිකුත් වූ සමරුවේ මුල් පිටුව සැරසූ මා ලියූ පැදි පෙළ එතුමියට උපහාරයක් වශයෙන් තවත් පැදි කීපයක් එක්කර ලන්ඩන් කවි පිටුවේ එතුමියට උපහාර දෙසැම්බර් කලාපයට මේ සමඟ එවමි.
යදම් බැමි සිඳ බිඳ දමා
පෙරට යයි ජනගඟ ගලා
එවන් ගඟුලක හඬවෙලා
හමයි පවනක් දැය සලා.
අයුක්තිය හමුවේ නිතින්
චණ්ඩ මාරුතයක් ලෙසින්
පවිටු ලොව ගිරි සිකර පෙරළා
ගලයි පවනක් හද තුලින්.
සිහින් මද රැල්ලක් වෙසින්
සිහිල් ගඟුලැල්ලක් ලෙසින්
විඩා බර දිවි මාවතේ
පවන දැවටෙයි ජීවිතේ.
නෙතක කඳුලක් හිනැහිලා
හදක පැතුමක් පිබිදිලා
නැඟී සිටිනට දිරි වෙලා
ගයයි ඇය පවනක් වෙලා.
කාලයක් ගතවී ගියත්
තාලයට මිනිසුන් ගියත්
ඇයත් දැන් වියපත් වුවත්
දිරිය හඬ තවමත් සමත්.
ඇය පැතූ ලොව හෙට ලැබේවා
මියුරු හඬ දිගු කල් ඇසේවා
දිරිය ලක’ඹර තුල රැඳේවා
එතුමියට සුව සිරි ලැබේවා !

අබුද්දස්ස කාලයක …..
මාලය වගේ හිරු යනකොට සඳක් එමින්
කාලය දුවයි ආනත ලොව වටක් යමින්
තාලය හොඳම පුරවා සිත හුඟක් සොමින්
සාදය නටමු උතුරන තෙක් දියක් හෙමින්
සේලය කොටයි පෙනුනට උඩ යටින් ටිකක්
පාපය කිසිම නොරැඳෙයි එහි ලෙසින් තිතක්
ලෝබය අතැර ගෙනැවුත් පඬු යාර හයක්
පාදය තෙක්ම පළඳමු වළකමින් දොසක්
වැඳලා මොටද මහ සෑයට සිරස නමා
පළඳා ඇඳුම් පින් පුරවමු නොකර පමා
දෙසලා බණක් හිත සැනසෙන ලෙසට තමා
වළකා වැටෙයි මිසදිටු වැසි මෙලක තෙමා

දිරිය මව
දිරිය ම
දුවා දරු කැලක සුරතල් බලා දඟ
සොයුරු සොයුරියන් රැකගත් මව ද වග
හැමට කියා දී යායුතු නියම මග
තරුණ වියම දිය විය මවු සෙනේ ළඟ
මාලේ ඇගේ ගෙල සරසන පිණ ද නිතී
නා නා සුළං ඇවිදින් මගහැරී ඇතී
නෑ බෑ කීම කිසි දේකට නුහුරු ගතී
මාසේ පඩිය මිස වෙන රන් රුවන් නැතී
අකලක නළල් රතු තිලකය මිලින විය
එතෙකින් ජීවිතේ කණු හුදකලා විය
තනි දිවි මගේ ගෙවෙනා’තර පෑල විය
දරුවන් සතුට දැක සැනසී නිමා විය

ඔච්චම්
හිරු මල සොවින්
පරව යන සඳ
තුටින් සිනාසෙන
කුමුදු මල් ..

ආදරානිශංස
ඒ කාලේ ඇති කතා කොච්චරවත්
මත් වුණු පැණි මල්වත්
වැරුවේ නැති තරම්වත් පැණි පුරවන්…
නාකපන වැස්සෙත්
මඟ නොමඟ ගිය පාරෙනුත්
පිට පැන්නෙ හරි හීනියට අපි
මහා සද්දෙට ඇහුණු ලබ් ඩබ් හඬත් තුරුල් කරන්..
සද්දෙ බාල වුණේ හරි හෙමින්
අඟලෙන් අඟල හදපු බැස්මක් වගේ
ඒක හරි වෙනස්
පපුවටම ඇන්න ටොබැකො උගුර
මදුරු කොයිල් දුමක් වුණේ කොහොමද කියලා?
තාම දන්නෑ
ඔයාවත් මමවත්…
– සචී –

ඔස්ට්‍රේලියාවේ සිඩිනි නුවර පාක්ලී වෙළෙඳපොළ දී…….
කොළඹ මැනිං පොල
ගමනක් මතක් කල ගමනක්
ගියා පාක්ලී පොල ඔසී රට…
එහි නොමදුටිමි නාටාමිල බර කරගත්
එහි කිසි තැනක නැත ඔවුනගෙ
හඩ තැලුමක්…
පාක්ලී වෙළෙඳපොළ පිරිලා දහස්
පිරිස් යටිගිරි හඩක් නැත
බඩු විකුණන පිරිස් වෙතින්…
එළවළු පලතුරක් ඇත නිසි ලෙස
හරි ගැස්සී මස් මාළුවත් යන මග
හැඩ පෙල ගැස්සී…
මං පොලොවේ අප ජල නැත
එක් රැස්වී තැන තැන කුණු
පොදක් නැත දුගඳ වැසී…
බඩු විකුණන මිල ගන්නා
දහස් පිරිස් නීතියෙ ගරුක බව ඒ
හැමගේ පොදු දහමක්..
නිවසට ඇවැසි හැම ගතහැකි එක
වහලක් අප පොදු වෙළෙඳපොළ
පතෙනෙමු,එවන් දිනක්…

ආයාචනා
මහා කරුණා
ගුණය නිබඳව
සියලු සත් වග
වෙතට සැමදින
මහා දම් කඳ
ආනුභාවෙන්
රතන සුතුරෙහි
සමරමින ගුණ
මහා නුවරෙහි
විශාලා නම්
තිබුණු තුන් බිය
දුරු කරපු මෙන
මහා මෙත් සිල
ම,බුදු සමිඳුනි
අපට සුව සෙත
සලසවනු මැන
සතර අත සැම
දනට සුබ සෙත
සදන බලමින
දොලොස් නෙතඟින
විතර නොවනා
මහත් තෙද බල
පතුරුවන ලක්
බිමෙහි සැම දින නතර නොවනා
කිතු රැසින් දස
අතෙහි නංවන
පබල කිතුමිණ
කතරගම දෙවි
සමිඳ වෙනු මැන
පිහිට අප හට
සෙත සලස මින
ඈත සිට පෙරු
මන් පුරාගෙන
මෙතේ බුදු බව
පතාගෙන එන
බීත කරවන
රුදුරු යක් සෙන්
පරදවා ලොව
සතට මෙත දෙන
දෝත නලලත
තබා නමදිමි
අයදිමින් පා
මුලෙහි බැතියෙන
නාත දෙවිඳුනි
නසා රෝ බිය
හදෙහි දුක් කඳ
දුරු කරනු මැන
නිමල බුදු දම
රකින විලසින
පිරිත් නූලෙක
බලය ලබමින
අමිල මෙහෙවර
මෙතෙක් කරමින්
බුදු සමය ආ
නිබඳ රකිමින
නළල තබමින්
පාද යුග මත
අයදිමින මතු
දිනක බුදු වන
පබල වෙනු මහ
දෙවිඳ පැතිරෙන
ලෙඩ වසංගත
දුරු කරනු මැන
මෙතිනි ලොව තුල
සියළු දන හට
දයා කරුණා
ගුණ පතුරුවන
නිතිනි සලසන
අමිල සුබ සෙත
සළඹ යුගලය
දෙඅත දරමින
බැතිනි පදයුග
නැමද ඉල්ලමි
සියළු වස් දොස්
සැම දුරුව එන
පතිනි දෙවියනි
දිවැස් හෙලමින්
රුදු වසංගත
…. දුරු කරනු මැන
සමන් ගිරි කුළ
මතට සිරිපා
පිහිටුවන්නට
කරන ඇරයුම
සමන් මල් අතු
රුවා බුදු හිමි
වැඩම.කරවා
ලෙසට සිත් තම
සමන් සුවඳින්
පුරා ලක් බිම
පුද බිමක් කළ
සුවය පිනිසම
සමන් මහ දෙව්
රදුනි රැක දෙන්
මෙ සිරි ලක් බිම .
වෙසෙන දෙන හැම
සියල් දිනකම
ජනී ජනයා
කරති පුද පෙත්
නැතද වත් කම
සියල් විටකම
යදින්නේ සුබ
සෙතම මිස නම් .
නොවේ වත්කම
සියල් දෙවියනි
අදද මා ඔබ
හමුවෙ පුද දෙමි
කවියෙ වත් කම
සියල් සත මේ.
වසංගතයෙන්
මුදා දෙනු මැන
දිවියෙ වත්කම
– බදුල්ල –

නොනිදන සිහින
කාලය එලඹිලා යමි ගම්රට දිශාවට
හැරදා දෙවැනි මව වැඳු මව හොයාගෙන
මහලු මව මගේ ඳොරකඩ අරක් ගෙන
සනසා ඇයව යලි එමි හිත පුරෝගෙන.
දහයක් මට නයයි නුඹ කිව්වට මෙමට
දහසක් මම නයයි යෙහෙලියෙ මා නුඹට
සහසක් කවි සිහින සිතුවම් මැවු රුවට
රහසක් නොකියාම රැකගෙන යමි රටට.
කැඳැල්ලේ උණුසුමට පැටවුන් එන කලට
සෙවිල්ලෙන් යෙහෙලියේ වටපිට ගැන හොඳට
පෑදුනු දිනෙක මා පෙර පින් නිසිකලට
එමි කිවු රසම බත් කටෙ රස බලන්නට.

බිඳුණු විශ්වය
ආදරයේ ෆැන්ටසිය හා
යථාර්තය අතර
ගතකල කාල සිමාවක්
නිමා වු පසුව
මනස් ලොකය මැවු
සුන්දර මනෝලෝකයට
යථාර්තයේ චන්ඩමාරුතය හමා
සුනු විසුනු කර දැමු පසුව
ගතවන දුෂ්කර කාලයකට පසු
තමාට තමාව
මුනගැසෙනු ඇත
බිඳුණු එම ලෝකය
නැවත ගොඩනැගිමට
ගන්නා උත්සහයම
තමාට තමා අහිමිව
අනෙකාවද
සදාකාලිකවම
අහිමිකරගැනිමකි.

මතක අස්සේ පේන හීන
මතක අස්සේ පේන හීන
හින ම වී වියැකුණු විට
ඔබ ගැන මට ඇති මතකය
කදුලක් වී නෙත් අභියස
ගලා ආවේ මගේ දෙනෙතට
හදේ නැගෙන විරහ ගින්න
එසේ වුවත් මගේ ආලය
කෙදිනකවත් නොමියනු ඇත..

“ජයරාණි” මිතුරියේ නුඹ සමග හිනැහුනේ මම බොහෝ පමාවය…….
බුලත් විට කා රත් දෙතොල් මැද කිරි සුදට ඇඳී යන
ජයරාණිගේ හිනාව අදත් ඒ වගේ ම ය
නුවරු නිදි අතර ඇය අළුයමින් අමදිනා
මහාවීදිය වගේ නිකසලය නිරවුල්ය
යනෙන මඟ අයිනෙ සිට බයාදුව සිනාසුන
මුල් වරට ඇය දුටුව දිනය මට අමතකය
නොරිස්සුම් බැල්මකින් මම අහක බැලු
ගුරු දෙගුරු රැස්වීමෙ ඇය සිටියෙ කොනකමය
සාරි මොට්ටැක්කිලියෙ වහන් වත දැරූ තැත
නිරර්ථක මුවග පිපි කෝපි මල් හිනාවය
මපුතු හා ඇගේ පුතු එකම පන්තියක දුටු මා දැවුනෙ
ලන්සිවත්තට යාවු සුපිරි පාසල් පවුර පුපුරවන තරමටය
ගේට්ටුව පේන දුර පහන් කණුවට සැඟව
පාසලට පුතු යවන ඇගෙ දසුන සුපුරුදුය
දිවා කල කනත්තේ උද්‍යානෙ වල් නෙළන
බස් පොළේ පොදු වැසිකිලි මදින
සැදෑවේ මහ මැදුරු බිතක්කන කුණු අදින
ඒත් නොහඬාම හිනැහෙන
ඇයව දැක ඔරවාපු මසුරු සිත් පතුල්වල
දයා හැඟුමක තෙතක් නැති හැඩය
නළල මැද රතුපාට තිලකෙ තැබුවා මිසක
මලක් සේ රකින්නට සෙල්වම්ට පිදූ හිත ගලක් වී අහවරය
වත්තෙ කුඩ්ඩෙක්ය ලේබලය නිසාම
දත් කුඩු පැකට්ටුවටත් අල්ලගෙන යන
බොහොමයක් වත්තෙ උන් වගේ
වැඩිපුරම ඔහු හිටියෙ ඇතුළේය
ගුවන් යානෙක හඬට ගිනි පිඹි
අගනුවර අහස දෙසහූල්ලල බැලුවෙ ඇය
නොරට දුන් බිළිඳියගෙ පුරුදු කිරි සුවඳටය
ඉහළටම උගන්වා වත්තෙ නරකාදියෙන්
ඉගිලෙන්න පුතුට තටු දුන් පසුත්
ඇය තවම අමදිනා පාරෙ ඉඳහිට ගියත්
එදත් ඇගෙ සිනා මුව මගහැරියෙ හිතලමය
මතට ඇබ්බැහි මපුතු රඳන පුනරුත්ථාපනෙට යනෙන මඟ
මහරගම රෝහලේ ඉදිරිපිට
මගේ රිය කවුළු වීදුරුව මත
ඇගෙ මුතු හිනාවයි සුදු පාට ඉරක් සේ ඇඳී යළි මැකීගිය
ඉනුත් වසකට පසුව අදත් යමි
නුඹෙ කඳුළු පාගමින් මගෙ කඳුළු අහුලමින්
මෙතෙක් කල් ඇවිදගිය නුඹ ඇමදු මාවතෙහි
මග දිගට තාප්පෙක කණු බඳක ඇලවිලා
ගිනි අව්වෙ පිච්චිලා වැස්සෙ නෑවී දියව
ඒත් ඒ අව්‍යාජ සිනාවම මට පුදන නුඹ සමග මුල්වරට හිනැහෙමිය
ජයරාණි! ජීවිතය නුඹ දිනුම් අදත් මම පරාදය
නුඹ සමග හිනැහුනේ මම බොහෝ පමාවය…….
වෙනදාට ඇන තියා විටක් කන කොට්ටම්බ හෙවන යට
ගස් කඳට පිට දෙමින් දිගම දිවි ඉසිඹුවක් අද විඳින මිතුරියේ…
නුඹ සමග දොඩන්නට එක්වරක් ලැබුනි නම් මට වරය……..
සෙනෙහසක හැඩ නොදත් හාදුවක සුව නොදුන් සෙල්වම්ව බලන්නට
බත් මුලත් නොවරදා වැලිකඩට ගෑටුව නුඹෙන්
ඩිවෝස් වෙන්නට තරම් කොඳු හයිය ගෑණු අපි හිතුවාට
දරු නමින් නුඹ වගේ කුටුම්භය පුරුද්දන ගැහැණුන්ට
ඔය හයිය පිටකොන්ද ලැබුන හැටි විමසමිය
කළු ව ගෙරවිලි බයට කඩා නොවැටී සීරුවට
ගැබ්බරවු අහසක්ව බිරිඳක් උහුලනා හද රිදුම් බර ගැන
ඉරි තැලුම් ඉඩෝරෙත් පැටවුන්ට සෙනෙ බිඳ මිරිකා පොවන
කාෂ්ටක පොළොවක්ව මවක් හද ඇවිලෙනා දරු ගින්න ගැන
අපෙ හැඟුම් බෙදාගෙන, බදාගෙන හැඬු කඳුළු අමුණමිය
ජාති බස කුල දේශසීමා ගසා කොටු කළත් තෙත් හිත්
අප වටා වාසියට උන් මැව් අදිසි වැට කඩුලු සීමා ළඟත්
අසීමාන්තිකව ඉනු නුඹේ මානව ප්‍රේමයේ වග
නගරෙ කුණු කානු වල ගසා යනු දැක දුකට
දෙවේලේ නුඹ ගොඩදැමූ මිනිස්කම ගැන
පිරිත් අහනා ගමන් තිරුක්කුරල් කවි කී අරුම ගැන
මා නොදත් මුල්ම පාඩම නුඹෙන් උගනිමිය
ආටෝප පුහුමාන හුලන් පිරි බැලුන් මෙන්
මහපොළොවෙ පාවෙනා මනස් ගැහැණුන් රගන
ඉහළ මණ්ඩුක කුලේ උන්ට මට හිනැහුනා විනා නුඹ
එදා වගේම අදත් හිනැහෙන්නෙ අප සමග නොවේමය
මේරිලන්ඩ්,ඇමරිකා එක්සත් ජනපදය

සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා
මිනිසුන් මරා මිනිසුන් යුධ වැද ගන්නේ
මනසින් උස් බව කිමද නිගරුවකිනේ
සිවුපා සතුන් කිසිදා නෑ වරිගේ නසන්නේ
මිනිසත් බව ලැබ අප කුමට උපන්නේ
සියලු සතුන් අහරෙනි ජීවත් වන්නේ
අහරට මිස නෑ ගොදුරු සොයන්නේ
ඇදහිලි ගෙන සතුනගේ ගෙල සිදවන්නේ
මිනිසත් බව ලැබ අප කොයිද සිටින්නේ
ආගම දහමට නැඹුරුව කියමින්නේ
ආගම දහමම විකුණන් කන්නේ
තිරිසනෙකුට ඇති හර නැනි මිනිසුන්නේ
නොපෙනෙන දෙවියන් උදෙසා උනුන් නසන්නේ

ඊළඟ පෝය එනකම්
බුදුන් වැදල බණ අහන්න
පන්සලේ බුදු මැදුරෙ
කිරි ගරුඩ බිම වැතිර
කරුණාබර බුදු දෙනෙත් දෙස බලා
හිතේ දුක කියා ගන්න
හිතේ සැනසීම ලබා ගන්න ..
ඊ ළග පෝය එනකම්
බලා සිටියා බුදු හිමියනේ ……
තරුණකම දිය වුනා නොදැනීම
දරුවො මත්තෙම නැහුනා
ලිපේ ගින්දර එක්ක
හදවතත් දැවුනා….
හේනේ කුඹුරෙ වැඩ කලා
ඊ ළග පෝය එනකම්….
දරුවො උස් මහත් වුනා
පිළිවෙලට දීගේ තලත් දුන්නා
දරුවන්ගෙ තාත්තා එක්ක
මමත් තනි වුනා….
ඊ ළග පෝයටවත්
පන්සල් යන්න හිතුවා
සිල් රෙදි හැද සිල් ගන්නවත්
හීනෙන් දුටුවා…
පෝයට කලින් දා
ලොකු දූට අමාරු වෙලා
පුංචි කිරි කැටිය ළග
ඉන්න ඕන හින්දා
ඒ වැඩ ටිකත් සංතෝසෙන්ම කලා…
තවත් පෝයවල් ගෙවෙනකම්
අනිත් උනුත් මගේ දරුවො හින්දා ..
උන්ගෙ දරුවොත් බලන්නට උනා
හැම දේකින්ම නිදහස් වෙලා
එන්න තමයි හිටියෙ
ඊ ළග පෝයටවත්….බුදු හිමියනේ …
හිතේ සැනසීමෙන්
බණ මඩුවේ ඉදලා
බණ ටිකක් අහන්න…
පොඩි ලේලිට රස්සාවක් ලැබිලා
පුංචි උන් බලන්නට
කෙනෙක් නැති හින්දා …
ඒ වැඩෙත් කරලා
කවදහරි එනවා….
සිල් අරන් බණ අහල
සැනසීම ලබා ගන්න…
බුදු හිමියනේ …..

පතිනි සිත
ගිම්හාන කාලයට
පිණි බිදක් වී වැටෙන
හිම මිදෙන ශීතලට
උණුසුමක් වී රකින
ගණදුරට පහන් තරුවක්
විලස එළිය දෙන
ඉතින් වෙන කෙනෙක් වෙද
නුඹ විලස ළග රැදෙන……
උරණ වූ මා වෙතට
සිසිල් බැල්මක් හෙළන
කදුළු නෙත පිරුණු කල
උරතලය මත පිසින
නෙතේ බැල්මෙන් විටෙක
සියුම් තරවටු කෙරෙන
මගහැරුණු පිටු පුරා
අරුත් බර දේ ලියන
කෙනෙක් වෙද සසර මග
නුඹ තරම් මට දැනෙන….
වාරු නැති විටෙක ගත
සීරුවට දිරි දෙවන
විඩා වැඩි කල හිතට
නිවා සහනය මවන
තවුතිසාවක සැපත
දෙපාළග නීති මවන
නුඹ තරම් කෙනෙක් වෙද
ආත්මය වී සිටින …….
19/11/2023

අනූ හතර වියට පා තැබූ ගුණදාස අමරසේකර ශුරින්ට
රතු රෝස මලක් ලෙස පිපී සාහිත උයන
අතු විහිදී රුකකි අද ලක්බිමට දෙන සෙවන
මතු දවස දරු කැලට පෙඳහි රස හව් පොවන
මහා ගත්කරු ඔබය දිගාසිරි සුව ලබන
එක්ටැමෙන් බිමට බැස හැඳිනගෙන බොල් පිළිම
ගණඳුරේ අතරමග අරුනලුව දුටු අරුම
මැද පන්තියේ පුවත කතා ලෙස පෙළ ගැසුම
ආවර්ජනා විලස පෙන්වු හද බස දැනුම
මගේ පොත් එළිදකින තුන් වතාවම පැමිණ
කියූ හරබර වදන් තවම දෙසවන රැඳෙන
රුසියානු සාහිතය අතැඹුලක් සේ හැඳින
පෙර පිනකි ඔබේ සාහිත ඇසුර මට ලැබුන
කවන්ධය වැනි දැයට හිසක් පළඳවන්නට
විල් තෙරෙහි වන මරණ වළක්වා දමන්නට
අන්ධවූ අලියාට ඇසක් යළි දෙවන්නට
ජය සතුට දීඝායුෂ පතමි කිවිඳුනි ඔබට
ආචාර්ය පාලිත ගනේවත්ත
සිඩ්නි, ඕස්ට්‍රේලියාව

කවියන් වනන සිත එක අරමුණක නොයයි
සඳ ඇවිදින් රෑ මැදියම සිඳු තෙරට
පායා කළුවර තිබෙන නුබ වෙතට
සේයා විත් අඳුර හා ගැටෙන විට
මායා මැකී ආලෝකය පෙනේ මට
සඳවත සඟවනා රහසක් වළාකුලේ
අඳුර අතර පා වී ඔහෙ යනෙන වෙලේ
නැවත පුරුදු තැන ඇවිදින් රැඳෙන වෙලේ
දුකම රඳා හද තනිවේ කඳුළු විලේ
සඳ විටකදි සිසිල ගෙන එන ඉඳුමිණකි
හදවෙණ පිරිමදින සොඳුරුම සත්සරකි
විටෙකදි දුකම දෙන කළුවර ගුලාවකි
සිතිවිලි මකා දමනා වැහි වළාවකි
ලොව එළි කරන සඳ නුඹ හරි පින්වන්තයි
එනමුදු පෙමට විරහවට නුබ සුදු කළු වෙයි
දිවිය වරින්වර එලෙසින් එහෙ මෙහෙ යයි
කවියන් වනන සිත එක අරමුණක නොයයි
ලොව හැමදේම හැමදාමත් නියත නොවේ
කිසි දින හිතන පතනා දෙය ඉටුද නොවේ
මල වුව විකසිතව යළි විකසිත වී මැළවේ
එය දැනගෙනම ජීවත් විය යුතුය ලොවේ
නදී ශානිකා
නුවර

දොලපිදේණි යකුන්නේ…
හෙණ පිට හෙණ වැදුන මුත් තව කමක් නැතී
තන බදු බලු බදුත් පුරුදුයි අපෙත් ගතී
මඩියම හිස් වුවත් ගැතිකම ඇඟෙත් ඇතී
වැඳ වැඳ පින් දියවු රට විකුණුවත් බැතී
වේලයි, දෙවේලක් කන්නට නම් බැරිය
සාගිනි උහුලමින් බඩ පොතු ගෙන දිරිය
පාරුව පදින උන් හඳුනති හොඳ හරිය
දුන්නද වම් අතින් දකුණතෙ නැත පිරිය
කළගෙඩි බඩ වලත් ඇතිවීමක් නැත්තේ
බහිරවයන්ට නොදෙවෙනි තැනකුයි ගත්තේ
තට්ටුව බර නිසයි ඉන්දුවෙ උඩ අත්තේ
රෙදි ඇන්දුවත් විළිසංගෙට නොව සත්තේ
දැන්නම් දැනෙන්නේ සවියක ඇති අඩුව
උන්මයි විසඳන්නෙ විත්තිය නැති නඩුව
බෙල්ලට හිරකලත් පළඳපු මළ පුඬුව
අත්පුඩි තලනවා දුටුවද විස කඩුව
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

විරුවෝ සහ මරුවෝ
කළුවට ඇඳන් උන් එනු සඳ තරු දැක්කා
බැඳ අත් දෑස් ගෙනයනු දුටුවත් එක්කා
දරුවන් පැහැර ගියෙ ඇයි නොදනිත් මක්කා
සඳ තරු වුණත් දැක දැක මුනිවත රැක්කා
දෙගුරුන් හැඬූම් සුළඟට හොඳහැටි ඇහුනා
උන්ගේ විලාපය ඇසු හදවත් පැලුනා
දරුවන් මර බියෙන් වෙව්ලා තැති ගැනුනා
සුළඟේ උඹත් බල බල හෙමිහිට ඇදුනා
දසවධ දුන්නු දඟගෙය ගහකොල දුටුවා
මහඋස ගසුත් මේවට හෙවනත් හැදුවා
දරුවන් වේදනාවෙන් මර හඬ නැගුවා
ගහකොල යක්කු කොල අතු වන වන නැටුවා
මිනිමරු වධක රැළ පොළොවට බර දමලා
දුන් මරු පහරවල් කාගෙන ඇද වැට්ලා
දරුවන් ලෙයින් තෙත්වී යනවිට ගලලා
පොළොවත් හිටිය නිහඬව ලේ රස බලලා
දරුවන් මැරෙද්දී ඔළුවට ඇණ රිංගා
මූසල අහස රැකගත්තා හෙණ හංගා
කිසිවක් නොවුනලෙස රළ පෙනපිඩු නංගා
විරුවන් අරන් ගැලුවා ජඩ බලු ගංගා
දැවුනට ටයර් කළ කරවපු උන් දන්නා
පාලම් බෝක්කුද කණු මළමිනි ගැන්නා
දැන හැමදේම කඳු හෙල් නිහඬව ඉන්නා
දැයකට සෙත පතා දරුවන් දිවි දුන්නා

අම්මයි… පුතයි…
මහමෙරක උස තියන ආදරේ කාරනා
ඇත්තු වාගෙයි පුත්තු අම්මෙක්ට වාසනා
සංසාරේ පුරාවට පතා ආ කාරනා
හුස්ම ටික තියෙන්නෙ ම ඒ මත්තෙමයි සදා
කුස පුරා දඟ කරපු සුන්දරම කල්පනා
ලයේ උණුහුමේ දී කිරි වෙලා වෑහුනා
ඉරක් වී මගෙ ලොවේ සතුට කැන්දු නියා
පුතෙක් මහ හුයක් මය පරපුරක් බන්දනා
බොල් වී කරල උඩු හුළඟට වැනෙන නියා
සරු වී බරට ගුණ නුවණින් සරණු සදා
සරුංගලය සේ රැහනින් රදා නොලා
රිසි සේ සරනු ලොව දිග් විජයක් ම කරා

රහස් රහස් වී රහසෙම සැගවුණු………..
රහසින් ලංවී
රහසින් වින්ද
ප්‍රේමය ..
රහස් කොදුරා
රහසින් නික්මුණු
ප්‍රේමය..
රහසේ හඩන
රහසේ විදවන
ප්‍රේමය…
රහස් රහස් වී
රහසෙම සැගවුණු
ප්‍රේමය …
සීතල පපුවට
රහසින් ඇවිදින්
ප්‍රේමය
උණුසුම විදිමින්
සිත සුවපත් කල
ප්‍රේමය
අන්සතු උයනක
පිපුණත් සුවදයි
ප්‍රේමය..
රහස් රහස් වී
රහසින් වින්ද
ප්‍රේමය
පෙනෙන දුරකින්
නැති වුවත් අද
ප්‍රේමය
සිතිං සියවර
ඉතිං වින්දෙමි
ප්‍රේමය
මගේ නොවුනත්
මගේම වූ
ප්‍රේමය
රහස් රහස් වී
රහසින් වින්ද
ප්‍රේමය

මිහිරි කොස්වාලිහිණ
ගීත ගෝවින්දයෙන් අමුනා
දහක් පදැතිව අකුරු කරමින
වලා සුසිනිදු ස්වරය මවමී
මිහිරි කොස්වා ලිහිණි ප්‍රේමය
නේක දසුනින් මවා රැඟුමන්
දෑල ඔය නෙත් අතර සොයමින්
ගෙවූ කාලය අහවරයි දැන්
එතෙර වනු ගං ඉවුර දෙපසින්
හෙටක් පහන් වන තුරුම සසලයි
ප්‍රේම පතිවත් හද ගැඹුරු කල්
අඬනු රිසියෙන් නවතනූ මැන
පහන් වේවී රැයත් විගසින්…

දෙවියන්ටත් වැරදුනාද ?
දෙවියන් වැඩියොත් මනුලොව මත්තට
තම රුව ගුණ දී මැව් දේ දැකුමට
ජාතිය ආගම කුලගොත් පොදි බැඳ
මිනිසුන් හැසිරෙන අන්දම දැක්කම
ගොළුවන් කරමින් නිරුවත් කරලම
සිනහව පමණක් මුවේ ඉතිරි කර
වැරදුනෙ කොතනද වැරදුනෙ කෙසෙලද
සිහි කරමින් යලි වඩීවි දෙව්ලොව

තිත්ත පැනි වරකා සහ ගස් නගින්නා
හුළඟට යාවිදෝ ඇඟපත නොවේ මස
අකලට මහළුවී නිතරම තෙමේ ඇස
මුදලට නොවේ කොස් කැඩුවේ ගසේ උස
පොලවට බරක් නෑ ඒ බර දරයි ගස
වැස්සට මිසක ඉස්කෝලේ නොදුටු තැනක්
කොස් ඇට ගුණ කියයි නොබැලු මෙලෝ පොතක්
ගස් යට පොලොස් කටු ඉවකර බුදිති හරක්
කිව්වට ඇස්වහක් නෑ උඹ ගමට පිනක්
අහස ඉරාගෙන මහ වැසි වට දාට
අලස නොවි ගස් නැගුමට හැකි කාට
දවස ගෙවන තැන අම්බලමක පාට
තුඹස තුල කෙසේ ඉන්නෙද නුඹ රෑට
නැග නැග ගසෙන් ගස අතගා පැසුන ගෙඩි
මැන මැන නොවේ නැග්ගේ කොස් ගසට තඩි
ගැන ගැන නොවේ වැල වරකා බිමට දඩි
තැන තැන බණ දෙසා හවසට රොනට වඩී
පොත්තට ගහ වගෙයි උන්දැගෙ බලු කොටියා
කැත්තට පොල්ල බලු රැල මඟ යුධ පිටියා
මත්තට ලෙඩ දුකට පිහිටට ලග හිටියා
ඇත්තට මෙහෙම මිතුරෝ මනු ලොව නැතියා
අප්පා අම්මා හැමදාමත් යුද වැදුනේ
පුප්පා ගෙන ඉඳන් එක ලගමයි මැරුනේ
සප්පායම් කලා උන් ගැන ගුන වරුනේ
අත්පා කැඩුවෙ නෑ එනිසයි මා රැකුනේ
පැදකුනු කරයි ඈ කිරි ගස් දෙකට නැමී
අදහනු බෑ අහස ගස් පෙල නිදයි තෙමී
අවුලනු කෙලෙස ලිප ගින්දර යමින් නිමි
කනුකුනු ගගා අගුවට ගොඩවෙමින් හිමි
උදේ ඉදන් රෑ වෙනකම් ගෙඩි කැඩුව
කඳේ තැනින් තැන රිදවිලි නෑ අඩුව
සඳේ සිටින සාවිය දක්නට බැරිව
ඇඳේ නොව ගොමස් පැදුරේ ඔහු තනිව
කොස් දෙල් පොල් පිරුණ යස යස ගෙවල්වල
කුස් පුරවලත් බත් ඉතිරිව හලයි පිල
ගස් යට තව හොදයි මහ වැසි දෙකයි පැල
උස් හඩ ඇහෙන් නෑ හැඩුවත් කිරිඳි ඇල

ඉරණම
එකම එක පේළියට
ඉන්ඳ වූ පැළ වුවත්
අතර මැද දුටුවාද
හැඩවෙවී යන හැඩත්
සමකුලේ නම ගියත්
ලියලද්දි කරලියත්
එකෙනෙකට වෙනස්හ් වග පැහැදිලියි පැතිකඩත්
වැඩෙන්නම ඕනේමයි
දිය පොහොර හිරු රැසත්
විසිරිලා අතු රිකිලි
මෝරන්නෙ අරටුවත්
මද පවනෙ සෙලවෙද්දි
චංචලව අවනත්
ගිම්හාන වස්සාන
නොහඳුනන අරුමයත්
බමන විසකුරු සතුන්
නොදැනීම ලංවෙතත්
ගොඳුරක්ව වී හඬා
වැලපුණා දළු කොළත්
ගිළිහෙද්දි නටු අගින්
වැරූ තම මල් ඵලත්
ලියකගේ ඉරණමට
ඇයි ? කීවේ නෑකමත්
– පුලතිසිපුර –

දුරුතු මහේ අපි සිටින්නෙ
අද උදයෙම හිරු නැගෙද්දි
වළිකුකුලන් හඬ ඇසෙද්දි
කටරොඩු වැල දෙස බලද්දි
පිරිලම තිබුනයි….
වළි කුකුළන්ගේ සද්දේ
ඇසෙනා විට ගං මැද්දේ
තුරුලිය සතුටින් පැද්දේ
එය හරි සොඳුරුයි…
වතුසුදු ගහ සුදු පිරුවට
ඇඳගෙන වාගෙයි සරුවට
හැඩ වැඩ වී හරි පෙනුමට
මට හරි ආසයි….
සිහිල් සුළං වැල් හමන්නෙ
සීතල වැඩියෙන් දැනෙන්නෙ
දුරුතු මහේ අපි සිටින්නෙ
ඒ බව හැඟුනයි….
– කැකිරාව –

Unmarried blessed soul
Happy…be like me
I am a lonely anchor
No rings or No bonds
And extraordinary duties
I whistle like a cuckoo
Sings as a heavy lark
No burden borne
As a captain sails his ship
Lives like simpleton
I take my oath
Until the end of this circle
until the rust wears my body
Wraps like a solitary reaper
Yes .. like a solitary reaper does
I decay as a virgin and sink
Like a ship
In to the blue water waves
One day

සතුට ගෙනාවේ
සැළෙන කඳුලු නෙතගින් මුතුඇට සේ
නෙතග බැලුම් තරුකැට එළියයි
සිනහ කැකුළු පියුමක් වීලා
මියැසි තෙපුල් ගී හඩක් වෙලා
ගලන දියේ සිසිලස එක්කර
පිපෙන කුසුම් සුවඳින් මුසුකර
කුරුලු ගීත තාලෙට මුමුණා
මගෙ ජීවිතයට සතුට ගෙනාවේ
ඔබම තමයි
තුරුලුවෙලා සෙනෙහස ගෙනදී
දෙඩූවදන් හදවත් පතුලෙන්
නිහඩ දෙනෙත් අඩවන් වීලා
ආදරයෙන් සතුට ගෙනාවේ
ඔබම තමයි
උක්දඩුගොඩ
පෙතියාගොඩ
ගෙලිඔය

The true beauty
Beauty can be found in the darkest of places.
Like a diamond beneath the deepest mines of Sierra Leone.
Uncut and unpolished, it is valued to be beautiful.
For the Western world, a diamond is the most valued item to sit upon the ring finger that leads to the heart.
Now that’s where true beauty lies within the heart