ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොළඹ යුගයේ සිත්ගත් කවි

Category: කොළඹ යුගයේ සිත්ගත් කවි

කොළඹ යුගයේ සිත්ගත් කවි

කිවිපති, කලාභූෂණ සේසිරි විජේසේකර
කිවිපති, කලාභූෂණ සේසිරි විජේසේකර
කලාපය: 2021-July

පොල් අතු වැටෙන විට ගොක් අතු හිනැහීම

ඇසුපිරු තැනින් එන වදනද මිහිරිමය
ගුණ නැණ සුවඳ සපිරුණු තැන සුවඳමය
ඉවසන සුළු ගතිය කවදත් දැහැමිමය
අන් කිසිවක් නොවෙි එය වැඩිහිටිකමය

අරුනෝදයේ එන මදනල සීතලය
දහවල හිරු එළිය ගෙනදෙයි කලබලය
පොදු වස්තුවකි කොයි කාටත් මිහිතලය
සැන්දෑවක ති⁣බෙයි උණුසුම් සුරතලය

ආගම සදාචාරය නීතිය රැකුම
ලෝකය පිදිය යුත්තන් නිසි ලෙස පිදුම
කරුණක් නොවෙිවා කිසි කෙනෙකුට පුදුම
එය ලොව හොද නරක දෙක අතරෙහි බෙදුම

පොල් අතු වැටෙන විට ගොක් අතු හිනැහීම
පෙන්වයි සමාජයෙ වැඩිහිටි සැලකීම
එය පෙර නිමිති වෙයි⁣ කෙනෙකුගෙ පිරිහීම
එක් ඇරි අට මඟක් වෙයි හරි වැටහීම

හසරැලි සරසවන්නට මුවඟ වැඩිහිටි
සේසත් බවට පත්කරවමුකො සැරයටි
අනුවන දනට අමතක කරන හිටිහැටි
දායාදයක් වනු නියතමය හණ මිටි

කොළඹ යුගයේ සිත්ගත් කවි – බුදු සිරි අසිරිය

පණ්ඩිත විමල් අභයසුන්දර
පණ්ඩිත විමල් අභයසුන්දර
කලාපය: 2021-May

බුදු සමිඳුන් හෙවණේ සිටියොත් මට කොතැනෙක හෝ දස දිසන්තයේ
එ මොහොත නම් පුර පසලොස්වක වෙයි වෙසක් මලින් පිරි වසන්තයේ
ලොවුතුරු මිහිරේ මහිමය උදහන දෙව්දහ පුර සල් දුමන්තයේ
දෙව්දුනු එළියෙන් අන්තය දැක්වෙයි අනන්ත සක්වළ සමන්තයේ

ගම් දොර වන රොද අද්දර පන්සල් කුටියේ රූස්ස රුප්පාවේ
අබ තෙල් පානේ වැටියෙන් විහිදෙන කැන් කිඳු මදු මුදවට පාවේ
දෙ සඳුන් සුවඳින් පින් පරිසරයේ පැද්දෙන ගංටාවෙහි රාවේ
ගෙන එන්නේ නොපැවැසූ උදානය බෝමුල බුද්ධ ගයාවේ

මල් පෙත්තක් බිම වැටුණ ද හඬ හැඳිනිය හැකි නිසසල එළි මහනේ
දවහත් තරු දෑ සමන් සේදු මැදියම් රෑ කල හඳ පහනේ
ඇස්වුණු බුදු බණ පදවල පිළිරැව් මිගදායේ ඉසි වන දහනේ
සව්නේ මඬලේ නොපෙනෙන ගැඹුරට කිඳා බසියි දී සිත් සහනේ

සන්සුන් දසුනේ උපසම සිරියේ ගල රළ පෙළ පෑ රැස් මූදේ
ගන රන් නැව් බඳු දෙතිසක් වර මහ පුරිස් ලකුණු රැඳි සිරිපාදේ
සිහිලළ පහසින් සුවපත් වුණු පින් බිම්කඩවල දාගබ් සෑදේ
වාහල්කඩවල පුදසුන් දෝවනයට මගෙ හද බැති මල් පීදේ

නිල් කටරොළු මල් පැහැ රැඳි වෙල පෙළ රොද බැඳි පාටට පැලක් තියා
විහඟු‍න් ගැවැසෙන ගිරිකුළු අතරේ පිළසල නෙන් පිළිබහන් නියා
අරණේ ඉන්නම් ගං ගල් ඇසුරේ සිවු පිළිසිඹියා සැපත් සොයා
සඳ සේ මුල වන ගායත්තිය ගෙන අටකුරු විරිතින් ගයක් ගයා

ගැළියායෙන්බද කෑමෙන් මුලු‍ දී පැහැර උරෙන් උර සිවු පිරිසේ
බුදු එළියෙන් ඇස තෙමෙන මානෙ උළුලු‍යෙන් එකත්පස හිඳ නිසි සේ
බුදු මුව බලමින් දෝත තබා ගෙන සැදැහැ බරින් නතු වුණු සිරසේ
තෙවළා බණ කවි සිඳු කිමිදෙන්නම් හැම අකුර ම වණ පොත් වන සේ

තුන් ලෝ තලයෙහි කිසියම් තැනකට වඩනා සඳ සත් වග සඳහා
කෙළ සුවහස් දන විස්මය ගන්වන සිත් ගමනින් ඉදුහය විදහා
සිවුරඟ සෙනඟක් ඇත් අස් රතයක් අහස්යානයක් සර සහරා
සඳ විමනක් නව්කාවක් කුමට ද ම හිමිට ගොඩ දිය නුබ හරහා

ගඟ දිය බස්නා ඉමිහිරි තාලෙට පිලඹළ මොනරුන් රැඟු‍ම් සෙවී
අරණින් නොමිදී අරණේ පසු වී වන වාසයකින් මහලු‍ නොවී
අජකරණී නදියෙහි ඉවුරේ සිත් අලවන සෙනසුන් ලෙනක මැවී
සප්පක තෙර මෙන් ථෙර ගීතයත් නංවමි පවිවේකයෙන් නිවී

හදිසියෙ දුටුවොත් හිමියාණන් වඩනා බව මගෙ ගම් පියෙස මඟා
හිටිවන ගාතා පෙළක් ගයා සම්බුදු අසිරිය කිවි බසට නඟා
සිරි පා නමදින්නට බදැඳිලි මල් මිටි මිටි ගෙන හිස මතට නඟා
පිළිවන් නම් වංගීස බමුණු හට මට බැරි ඇයි වී පියට ළඟා

ගස්වැල්වල මල්ගොඩ දිය පිපි මල් අහසේ පිපි මල් උහට උහේ
සිවු දෑ ගඳ දුම් පුනු රැසි පෝ දින විහිදෙන පින් බර වෙසක් මහේ
තෙමඟු‍ල සිදු වුණු තෙමඟු‍ල් සිහි කළ සිල් පිරිසෙහි බුදු මතුර ඇහේ
බුදු සිරි අසිරිය පවසන්නට මට සවියක් නැත මගෙ පුරුදු බහේ

කොළඹ යුගයේ සිත්ගත් කවි

සාගර පලන්සුරිය
සාගර පලන්සුරිය
කලාපය: 2021-April

උපුටා ගැණීම – සුදෝ සුදු කාව්‍යය – කවි 103 – 109

නෙත් අඳ පුතා දවසක් මව වෙත පැමිණ
සිප ගණිමින් නොපෙණෙතත් මවගේ මුහුණ
“අම්මේ මේ ළමයි හොඳ නැහැ බොරු කියන”
කිව්වම ඈ විතාලා “මොකදැයි කරුණ”

“මල් ලස්සනයි හොඳ හොඳ පාටයි” කීවා
“පෙණෙනවා” “දකිනවා” කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොලොක් බව තේරෙනවා මටද
“එළියක් කියා” මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්න අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණකොලුවෙක්ලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙලෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
“පාට” කියා ඇත්නම් ගතියක් මලක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

“ලස්සන” කියන දේ නැහැයට වත් කණට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු හෙලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඩන් අම්මේ නාඩන් මම විහිළු කළා
එන්ටද ගොසින් බොරු කී කොල්ලන්ට තලා