මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2022 අගෝස්තු කලාපය

අම්මා නැතිව....

වසරක් ගෙවුණු බව නම් නොදැනුන ගානයි
නිතරම දකින්නේ ඔබ සිටිනා හීනයි
ඔබ නැති බවක් සිත පිළිගන්නැති වාමයි
ඔබ හා කියන්නට ඇති දේ නම් බෝමයි

දොඩමළු වෙමි සිතින් ඔබ සිටිනා සේම
කට හඬ ඇහෙනවා වාගෙයි පෙර සේම
ඉමිහිරි මතකයන් සිහියට නැගුනාම
අද ඔබ නොමැති බව ඉවසන්නද කෝම

අඩුවක් නැතිව තිබුනත් අන් හැමදේම
ඔබ නැති අඩුව දැනෙනව මට හැමදාම
යන්නට ගියත් සුර ලොව වෙත නොකියාම
අම්මේ ඔබෙ සුවඳ මට දැනෙනව තාම

නවතාලිය නොහැක බේරෙන කඳුළු කැටී
පිරිමැද මගේ හිස යස'සිරු පැතුව හැටී
ගුණ සිහිකරමි ඔබෙ රුව ළඟ දණින් වැටී
අම්මේ ඔබේ මතකය මට ලොවක් වටී

සිහිනෙන් නිතර මම ඔබෙ තුරුලට වදිමී
සෙනෙහස පිරුණු ඇකයේ උණුසුම සොයමී
අප්පච්චිත් ළඟින් හිඳ හිනැහෙනු දකිමී
ලෝබයි අවදිවෙන්නට සිහිනෙම සරමී
View Poem