ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුහුඹු කඳුලැල්

කුහුඹු කඳුලැල්

කෞශල්‍යා ජයලත්
2022-July

පෙරේදා හවස හතරේ සිට
පාන්දර හතර වනතුරු
පෙට්‍රල් පෝලිමේ ලැග
තෙල් ඉවර වුන බව පවසා
ගෙදර ආවේ ඔහු
හිස් අතින් නොවේ මහතුනි;
වැසි දියෙන් තෙතබරිතව
හෙම්බිරිස්සාව කර වට
අත දමාගෙන තුරුලුකරගෙන

නිමාකර දවසේ රාජකාරිය
සවස හත නාද වූ විගසින
අද නැවත පිටවුණි ඔහු නිවසින්
මුසුවණු පිණිස තෙල් පෝලිමකට
හෙම්බිරිස්සා මට්ටු කරනා ඔසු
සමග ඉඟුරු ද කොත්තමල්ලි ද පානය කර

අහස් කුස කරුණාකර
පිණි වැසි නොවස්සනු අද රෑ
මහී මව් කම්පාකර
තෙල් පෝලිමේ කුඩා කුහුඹුවන්
සියොළඟ ම කඳුළින් තෙත් කර

බූදල් නො වෙමි
කුරුටු ගී නො ලියමි
ලබන වසරේ අද වගේ දිනකත්
මේ කවිය ලියන්නට වේ දැයි නො දනිමි
එලෙස නොම වේවා පතමින්
කොමාවක් නොව තිතක් තබනෙමි.