තුෂාරි ජයසිංහ මහනුවර

2022 ජුලි කලාපය

ඉතින් කන්නගී

මහ නුගේ මුල සංහිඳේ යට
පහන් යායක් දැල්විලා
හිස තියන්නට උරහිසේ ඉඩ
ලැබී හිමි නුඹේ සැනසිලා
පළා ගිය හිස්තැන් පිරී අද
රික්තයේ ඉඩ ඇහිරිලා
දෙවියන්ට කළ කන්නලවු නුඹ
ඵල දරා ඔහු හිමිවෙලා

මල් නෙලා කර පළන්දන්නට
නොහැකි වී තනි වූ විඩේ
මගේ උරහිස වෙන්කලා මම
ඔහු නමින් දී පණිවිඩේ
රික්තයක් වූ කළට සාගරේ
ආදරෙන් මා පිරවුයේ
ගඟට ආවඩනා බවම දැන මිස
අයිති කර ගන්නට නොවේ

නෙළුම් විල මැද අතරමං වූ
පාවෙනා ඒ ඔරු කඳේ
හබල වී මා එතෙරෙ කෙරුවා
විල්තෙරට නිදුකින් හොඳේ
දුක් පොදිය මගෙ කරේලාගෙන
සතුට පුරවා ඒ නෙතේ
අනේ කඳුලින් තෙත් කරා මම
නිසරු පොළවක් දැන් නැතේ

තන කඩා ලොව ගිනි තියන්නට
එපා සොයුරිය අසාපන්
නුඹේ සිතිජයේ සුරැකිවම ඔහු
තබා සෙනෙහස පුදාපන්
මේඝයේ කළු වලා තිර ඇද
හොඳින් ඝනඳුර වවාපන්
නුඹෙන් ගිළිහුණු ඉරට තනි රැකි
ඕෂදිය මම වසාපන්

එදා වාගෙම සුදු නෙළුම් මල්
තාම පිපෙනව ගොහොරුවේ
එක මලක් ගෙන බැතින් තබලා
මහ නුගේ යට සන්හිඳේ
එදා වාගෙම මෙත් වඩන්නම්
කිළිටි නැ මගෙ නම් හිතේ
නෙළුම් පිරි විල වගේ දරුවන්
පීදියන් නුඹගේ ගැබේ

තුෂාරි ජයසිංහ
මහනුවර
2022.06.13.
View Poem