ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රාත්‍රිය සඳහා ඇඳක්

රාත්‍රිය සඳහා ඇඳක්

කමනිකා මොහොට්ටිගේ
2022-July

ජර්මන් ජාතික නාට්‍ය රචකයෙක්‌ සහ කවියෙක් වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් ලියූ ‘A bed for the night කවියෙහි සිංහල අනුවාදය.

.
මා අසා ඇති පරිදි
ශීත ඍතුවේ සෑම සවසම,
නිව්යෝර්ක් හි 26 වන විදි කොනේ
එක් කුඩා මිනිසෙක් බලා හිඳී …
පසුකර යන මඟීන්ට අයැද
නිවාස අහිමි වුවන්ට
ඔහු සෙවණක් සොයා දෙයි ..
.
එය ලෝකය වෙනස් නොකරනු ඇත..
එය මිනිසුන්ගේ මිනිසත් ගුණ
දියුණු නොකරනු ඇත…
එය සූරාකෑම නොනවතනු ඇත…
.
නමුත් ඔහුගේ මේ ප්‍රයත්නය නිසා
මිනිසුන් කිහිප දෙනෙකුට
රාත්‍රිය සඳහා ඇඳක් ලැබෙනු ඇත..
සහසක් කඩු තුඩු මෙන් ඇනෙන,
දරුණු සීතලෙන්
හිම කුණාටුවෙන්
මිදීමට ඔවුන්ට සෙවණක් ලැබෙනු ඇත ..
.
ඉතින් මෙ ‘කව කියවා
ඉවතට විසි නොකරන් මිතුර ….
.
සහසක් කඩු තුඩු මෙන් ඇනෙන,
දරුණු සීතලෙන්
හිම කුණාටුවෙන්
මිදීමට ඔවුන්ට සෙවණක් ලැබෙනු ඇත
මිනිසුන් කිහිප දෙනෙකුට හෝ
රාත්‍රිය සඳහා ඇඳක් ලැබෙනු ඇත..
.
නමුත් ඔහුගේ මේ ප්‍රයත්නය
මිනිසුන්ගේ මිනිසත් ගුණ
දියුණු නොකරනු ඇත…
සූරාකෑම නොනවතනු ඇත….
ලෝකය වෙනස් නොකරනු ඇත…