ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔව්…මං පිළිගන්නවා

ඔව්…මං පිළිගන්නවා

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2022-July

ඔව්…මං පිළිගන්නවා
අයාලේ යන බව
මගෙ මිනිස් හිත
ඇද බැඳ තබන්නට
නොහැක මට එය

වරෙක යනවා
පිම්මෙ යන්නට
ඈත පෙනෙනා
අනන්තය වෙත
බැඳගනිමි නෙත්
අසුන් මනසට
එවිට මගෙ කන්
ඇසෙන්නේ නැත

රෑ දවාලක්
නොබලාම හිත
පාවයන්නට හදයි
සැමවිට
ඉඳුසැව්වෙ රැඳි
පැහැ උලාගෙන
පාවෙනා සේ දූලි
හිරු යට
නොකර මායිම්
නුඹ ඇතත් ළඟ
මගෙ හිත යයි
ඔහේ තැන තැන

දෑත විහිදූ
සිතිජ ඉර ළඟ
මුහුද නැවතෙන’යුරු
බලන්නට
ඇවැසි යැයි සිත
ගහපහ දෙනවිට
මං කියා මොනවා කරන්න ද?

බඹර තුඩු ගා
පෙළා හැරගිය
මුහුළු පියුමක
දුක අසාගෙන
ඒ දුකම මං
මගේ කරගෙන
එතැන සිට
නෙත් දිය හලන විට
ඇත්තටම නුඹ ගැන
දුකක් නැත

ඉනික්බිති එතැනින් ද
පැන ගොස්
රතිනුදුල කඳු යහන්
උඩ හිඳ
හිරු නිවෙන
පඬුපාට එළි මැද
දුරාතීතයෙ පෙම්කතාවක
තැවුල් අවුළා
ඉන් දැවෙන්නට
ඕනැමයි මගෙ සිත
කියන විට
නුඹේ හිත
ළඟමයි මගෙ හිත
කියා බේගල්
කිව්ව ඇහැකි ද ?