ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිදහසින් පසු….හොරකම සහ ණය උගුළ

නිදහසින් පසු….හොරකම සහ ණය උගුළ

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2022-February

කළු සුද්දන්ට රට දීලා සුද්ද අනේ
නිදහස කියා දුන් ” නිදහස” හොඳට පෙනේ
හැත්තෑ හතර වසරක් තුල මොකද උනේ
ඉල්ලන් ඩොලර් රට සිඟමන් යනවා අනේ

දෙපිලට බෙදී උන් එක්වී වී රට කෙරුවා
ණය උගුළකට අපේ මව් රට යට කෙරුවා
කිසිවක් නොවන ලෙස උන් සව්දිය පිරුවා
ජනයා හැමදාම දුක් කඳුලැලි පෙරුවා

එක හොරු රැළක් එක වරකදී රට කෑවා
උන් අල්ලන්න වෙන් උන් බලයට ආවා
හොරු ඇල්ලුවේ නැහැ උන් හොරකම් කෙරුවා
නිදහස ලැබූ දා සිට මෙය සිදු වූවා

නිදහස ලැබූ දින සිට හොරු රජ කරන
හැම චන්දෙදීම රැවටෙනවා අමන ජන
දූෂණ චෝදනා තිබුනත් චන්දෙ දෙන
ජනයා ඉන්න රටවල ලොව ඇත්ද වෙන

නිදහස් රටක සිරි මෙහෙමද සිතනු මැන
ගලවා පක්ෂ කණ්නාඩිය තියනු මැන
මිනිසුනි අනේ අප රට ගැන සිතනු මැන
එළවා දමන්නට හොරු රොද බඳිනු මැන

උකසට තබා රට පොලියට ණයට ගෙන
ඒකත් හොරා කෑ මහතුනි අසනු මැන
ආවොත් ඉතින් යළි චන්දය ඉල්ලගෙන
අම්මපා නෙලනවා අපි කොහු ඉදල් ගෙන