වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

2021 දෙසැම්බර් කලාපය

කිරට හැරුන සෙනෙහස

රුදිරය නෙවි කිරට හැරුනෙ ලය පිරි සෙනෙහස
මහමෙරටත් වඩා උසයි මනින්න බැහැ මට
ලබපු දවසෙ අම්මේ නුඹ ඒ මව් පදවිය
මටත් ලැබුන එන්නට මේ ලෝකෙට ඉඩ කඩ

අට තිස් සතියක් කුස තුල අරගෙන තැන තැන
යන කොට මහ බරක් දැනුනෙ නැතිවද නුබ හට
ඉදහිට මම දගලනකොට ගහ ගහ පා දෙක
පුදුමයි අනෙ කැඩුනෙ නැත්තෙ උබෙ කොදු ඇට පෙල

කන කන දේ උදේ උදේ වමනෙට යන කොට
හිතුනෙ නැත්ද අජාසත්ත වෙන්නැති කුස තුල
හැදුනම මහ විලිරුදාව ඉවසනු බැරි කොට
තිතුනෙ නැත්ද පුතෙක් නෙවෙයි යකෙක්ද කුස තුල

අමාරුවෙන් කුසේ තියන් දුන්නම මට පන
ඇහුනෙ නැත්ද ආපුගමන් මම දුන් මරහඩ
තිඹිරි ගේම දෙදරන්නට හැඩුවම දිගටම
ලැජ්ජ හිතුනෙ නැතිවද වින්නඹුවත් බැන්නම

පස්සෙ පස්සෙ එනකොට මම බලන්න උදවිය
ආඩම්බර හිතුනද මහ පුතෙක් කියල මම
පියරු සබන් අරගෙන නෑදෑයන් එනකොට
කදුලු පිරී මගෙ අම්මගෙ තෙමුනද ඇස් දෙක

කිරට හැරුන සෙනෙහස මට පෑවේ නිතරම
මහ කරුනාවෙනි අම්මේ දෙවෙනි බුදුන් ලෙස
අතු විහිදා මහා ගසක් වෙන්නට ලෝකෙට
හරි වැරද්ද කියා දුන්නෙ අත අල්ලාගෙන

උකුලෙ තියන් රජෙක් වගේ තුරුලකරන් ලග
ගහ කොල මුලු ලෝකය ගැන කියාදුන්නු නුඹ
හිටයානම් මගෙ ආදර අම්මා මගෙ ලග
තවත් මොටද වෙනත් ලොවක් ඉර හද වෙයි නුඹ
View Poem