ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මළගම

මළගම

කපිල ෆොන්සේකා -මෙල්බර්න්
2021-December

සැබෑවක්දැයි
ඇසූ බස් නෙක මුවින්
ආදරය මිය ගියැයි
සැක නැතිව දැනගනුව

සැරිසැරීයෙමි නුවර
සොවින් බර හදවතින්
සොයා ඒ මළ ගෙදර

ආදරය
බෝ කළින්
මට වඩා
හදාරා වනපොත්වැ’ හද රැදුණු
ශාස්තෲවරුන් ඇති
මග දිගේ විමසමින්
කොහිද ඒ මළ ගෙදර
සැරිසැරීයෙමි නුවර

ආදරය
සෙල් මුවා කර තැනූ
තෙළි තුඩින රස මැවූ
මහැදුරන් විමැසීමි
හද රිද්ම පුද තබා
තැනූ ඒ
ආදරය
නෙතු පියා සදහටම
නිදන ඒ මළ ගෙයට
යන්ට මග

ආදරය
ලද නොලද
විරහ රස
ගේය පදයක මැවූ
සොදුරු කවියන් හමුව
විමැසීමි
යන්ට මග

ආදරයෙ මළගමට
යන්ට මග විමසමින්
සරන පිස්සකු
දකිනු වස්
මග දෙපස රැස්වැ ඉස්සී බලන
සැමද විමසා බැලිමි
කොහිවේද මළ ගෙදර

හැරී ආපසු
සොවින් බර හදවතින්
පා නගමි

ගලයි මා පැමිණි මග යටකරන්
කාල වන්
දුගඳ පිරි
මියෙන රුධිරය දහර
ආදරය මිය යමින්
හදවතින් ගලායන ….