ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

උඳුවප් හා සඟමිත් තෙරණිය

උඳුවප් හා සඟමිත් තෙරණිය

පනාමුරේ තපස්සී හිමි
2021-December

උරුමය ලෙසින් නෙක දුක් ගිනි දරාගෙන
අසරණ වෙලා සිටි කඳුළැලි පෙරාගෙන
ලඳුනට සැනසුමක් සතුටක් ලබාදුන
උඳුවප් මසයි මේ සිසිලස බෙදාදෙන

සදහම ලැබුණ මුත් ලක්වැසි දනන්හට
සැනසුම ලැබී තිබුණේ පුරුෂයන් හට
සඟමිත් තෙරණියයි එම සඳ ලඳුන් හට
පිහිටට පැමිණියේ ඇති කර දෙමින් තුට

ග්‍රහ දොස් අපල කරදර දොස් දුක කැන්දා
අරමුණු පැතුම් කඩවන විට සිත බින්දා
දුවගෙන ගොසින් සැම දෙන බෝධිය වැන්දා
තෙරණිය තමයි ආවෙත් බෝධිය කැන්දා

ජයසිරි බෝරදුන් මුල් බැසගෙන පොළොවේ
ඇති ලෙස තෙරණියද සැමගෙම සිත් තුළ වේ
එනිසා කළගුණය වෙත නිති සිත් බරවේ
දන් සිල් පෙරහරින් උඳුවප් ලස්සන වේ.