ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිහිනයක් වූ වසන්තය ….

සිහිනයක් වූ වසන්තය ….

දීපා ද සිල්වා - ලන්ඩනය
2021-December

දුකද සතුටද හදේ ඇත්තේ හඳුන ගන්නට බැරි වෙලා
එකම තැන කැරකෙනා ජීවිත නිම් වළල්ලක හිර වෙලා
වල්මත්ව කැරකෙනා හසරැළි දෙතොල් අතරෙ ම මත් වෙලා
සොම්නසේ මග කියා දෙනු මැන පඩුපුලේ නුබෙ රත් වෙලා

කතා කරනට වදන් සොයමින් මහා වාලුක පීරමින්
හදේ තෙතමන බිඳක් වෙනුවෙන් මහා සමුදුර කිමිදෙමින්
ගිම් නිවන මුදු සිසිල පතමින් මහා මාරුත බිඳලමින්
සොයා යන මෙය රුදුරු ගමනකි මහා සසරක පීනමින්

හදේ තනියට තනි රකින්නට මිනිස් පුළුටක් නැති ලොවේ
කුසේ ගින්නට අහර වැටුනද නිවෙන් නැති ගින්නක් මැවේ
තිබහ තිබුනට බොර දියෙන් පල නොමැත පල දී කල පවේ
අඳුරු දිවියට වාරු නොමැතිව රුදුරු දර සෑයක දැවේ

දිදුළු වන මද පහන් එළියට උගස් කරලා ජීවිතේ
සෙවූ කෙම් බිම පාලු වී යනු බලා මග හැර මාවතේ
වසන්තය එන තුරා සිටියද නින්ද හංගාගෙන නෙතේ
තවම ගිම්හානයම පමණයි වසන්තය එලඹී නැතේ