ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවදානමේ මොහොත

අවදානමේ මොහොත

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2021-December

වට වංගු මාවතේ එන කල
තුරු ලතා කඳු ගම් දනව් පෙළ
මතක සිතුවම් කළා අහසේ
දුකට ආපසු හැරී බැලුවා

වියරු හඬ දෙන බිය උපදවන
රුදුරු දළ රළ රකුසු වෙස් ගෙන
අසුරු සැන මා උගුල පැටලී
අතුරුදන් වෙද ගොදුර විලසින

අසරණව සිතිවලි රිද්දනා
මොහොත වෙද උඩුගං පීනනා
කවුරු කවදා ගියෙද එලෙසින්
අවදානමේ ⁣මොහොතින් මිදී

නුහුරු නිසසල බව හැඟෙන්නේ
අනන්තය නොවෙදෝ පෙනෙන්නේ
⁣⁣බිය දොම්නස් සිතිවලි වියැකී
මහසයුර මා බව වැටහිණී

(ඛලීල් ජිබ්රාන් කිවිඳුන්ගේ ‘බිය’ ඇසුරින්)

2021 නොවැම්බර්