ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොළ පැහැය කියන්නෙම වසන්තයකට

කොළ පැහැය කියන්නෙම වසන්තයකට

උද්‍යා මාධවී
2021-December

කොළ පැහැය කියන්නෙම
වසන්තයකට
හෙමින් දිගහැරෙන
ළපටි දල්ලක පැහැයකට
ලොවක සරතැස නිවන
හරිත තුරු වැස්මකට
රඟන සුළගට තනුව වයනා
අතුරිකිළි අඟ පත්‍ර තතකට

කොළ පැහැය කියන්නෙම
වසන්තයකට
නුඹේ මුහුණට යටින්
මුහුණු පොතෙහි හිනහෙනා
පුංචි තිතකට
නුඹ හිඳින බව අඟවනා
බලාපොරොත්තුවේ පැහැයට

ඉතිං

කොළ පැහැය කියන්නෙම
වසන්තයකට
උදාවෙනතුරු බලා හිදිනා
වසන්තයකට……..