තිළිණි නිසංසලා දිසානායක

2021 නොවැම්බර් කලාපය

බිලී පූජාවට අභය දානයක්...

එල්ලිලා මස් කඩයෙ කොකුවල
කැපකරන් ජීවිත අනුන් හට..
බත් පතේ රස නහර පිනවන
පෙළ ගැසී අසරණ වු ජීවිත..
පෙනි පෙනී මරණයේ සෙවනැලි !

පළමු සික පද සුණු,විසුණුවන..
ප්‍රාණගාතයෙ වධකයන් ළඟ
සිතට අරගෙන අභයදානය..!
අත නිබූ රන්කාසි පොදියට
බේරගත හැකිවූ එකම ප්‍රාණය ...
රත්ති නුඹ විතරමයි මා හට..!

ඒ නිමේෂයේ ම'වෙත දිස්වුන
තවත් දුක්බර බොහෝ දෙනුවන්
හද සසල කරවන සුසුම් වැල්
"බේරගන්නට බැරිද අපිවත්"
මුවින් නොබිනූ ඒ වදන් වැල්..
කීරි ගැසුනා මගේ හදවත
සියුම් වූ රිදුමකින් මුසපත්ව..!

ගැබ්බරව උන් "රත්ති" එදිනම
පුංචි පැටවකු වදපු මොහොතේ
තවත් ප්‍රාණයක් අභය ලැබූ බැව්
පසක් වනවිට සිතට දැනුනා
කියා නිම කළ නොහැකි සතුටක්!

රත්ති නුඹ දකින හැම ඇසිල්ලෙම..
මතක් වෙනවා නුඹෙ නෑසියන්
මුවින් කිසිවක් කතා නොකරන..
සිතින් කෑ මොර දිදී වැලපෙන
ගෙළ සිඳින බව පසක් වන මුත්
පලායනු බැරි,යදමින් බැඳී ඇති

මුදාලන්නට හැකිවේද කා හට
ඝාතකාගාර රළු පොළොව මත
සිරවෙලා දුක් විඳින ජීවිත...!
දෙවෙනි ශික්ෂා පදය බිඳිමින්
සොරාගන්නා අයිති නැති ජීවිත !
ඇස් පනාපිට සිදුවන භයානක
මරණයේ රුදු බිලී පූජාව!
View Poem