ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2021 අගෝස්තු කලාපය

පාසල් මිතුදමක්

නිහඬව පංතියේ පෙර පස හිඳ ගන්නා
සැමදා එකම කොට කලිසම හැඳ උන්නා
සැම්සන් මදෙස හැරෙමින් මදහස පෙන්නා
බැලුවෙන් මිතුරුවී කුලුපග වුනි දෙන්නා

ගියත් ගමට තවමත් නුඹ නැහැ ආයේ
පාළුව දැනී යලි යලි මට සිහි වූයේ
කාමර ගාස්තුව දෙන්නත් නැහැ කීයේ
රුපියල් පනහකුත් ඉල්ලූ වග සිහිවේ

දින සති ගතවුවත් මගෙ සිත තුළට වැද
නුඹ ඉරි පනිනවා දවසම දෙමින් වද
දිරි ගෙන දිනක් නුඹ ගෙදරට යන්න සිත
තරයේ ගතිමි සිරිබෝ මගෙ මිතු සමග

බසයේ නැගී මග දුර ගෙවලා සවස
අප පා ගමන් ගමන් ගොස් සැතපුම් ගනන් දුර
අවසන වැවක් පසු කර ගොස් ගැමි ළඳක
විමසුවෙ නුඹේ නම් ගම් කියලා ඇයට

නුඹේ නම ඇසු සැණින් දෑතම තබා හිස
ගෙදරට යන පාර කීයේ දුකින් බර
පිය නගනා විටදි අඩි පාරේ නිබඳ
දැක මැටි ගැසූ පැල මා නෙත් කළේ බොඳ

ගෙපිළට ගොඩවෙලා ඒ ගතවූ මොහොතේ
ඉකිගසමින් ඇයව අප තුරුලට ගත්තේ
වේවැල් කැඩුනු පුටුවේ මා ඉඳගත්තේ
නුඹ වැලළූ සොහොන දිස්වුනි පිටිපස්සේ

ඇඳිරිය ගලා එද්දී ඇය ගසා ගොත
කියනා වදන් හඳුනා ගත නොහී මට
වැව මැද තිබී නුඹ මළ කඳ ගෙනා වග
ඇසුනත් සිතේ ගිළුනිද දිවි පිදූවේද
View Poem