මහ පොළව
තැළුනු පොඩිවුනු සිත්වල
ගින්නේ උපන් වියරුව
මහ පොළව කී වරක්
ලේ වලින් තෙමුවා ද
ලේ වලට වන්දියක්
නො ඉල්ලා නිදි වැදී
ගොවි බිම ද හැර දමා
විය ගහට නගුලට ද
සමුදෙමින් ලතැවුලෙන්
උරුමයකි! දිළිඳුකම
අරුමයකි සිතන හැටි
තද කරන් මහ පොළව
මහ මැදුරු නැගෙන විට
වැව් පොකුණු ඇල දොල ද
ඉරි තලා විවර කර
මහ පොළව තැවෙන හැටි
රිදෙන හැටි කියනවා
අඳුරු මහ වනය තුළ
හිරු එළිය දකින තුරු
ළපටි පැළ දළු දමා
සීරුවට හැදෙනවා
නිහඬව සිටින කටු පදුරක නිසැකවම
රතු මල් පිපෙන දිනයක් ගැන සිතමි මම
ලේ වල පැහැය හදුනන මිනිසෙකුගෙ ලැම
එදිනට කියනු ඇත මේ මා දිනූ බිම