සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2021 අගෝස්තු කලාපය

කුරුළු ඇසින් අතීතයට

බොහෝ කල් ගොස් මම
පැමිණියෙමි යළිත් ගම රට
නැග්ගෙමි මහගෙයි පිටුපස
තුඟු කඳු මුදුනට
දැකගනු රිසින්
හාත්පස දසුන් මන පිනවන.

ඔසවා බැලූ කල හිස
දුටුවෙමි මොනවට
සරදාකාසයේ පිහිනන
සුදු තිසර වලාකුළු රැස
සිඛි පිලක් සේ උඩින් වට
දේදුන්නක් ද ඒ මැද්දේ විය...

එසඳ දැනුණි මට
පිරී යන'යුරු මදින් මඳ
මේ සා කාලයක්
හිස්ව ගොස් තිබූ මා ළය.

අහස් නිල පාටින්ම
මා නෙතට සම්මුඛව
සිතිජ ඉම තැන තැන
මිහිදුමට දියව ශේෂවන
කඳු මුදුන් තිබුණි එක දෙක.

හරවා බැලූ සඳ
අනතුරුව හිස පහළට
දුටුවෙමි යටාවතේ
ඉර අව්ව තපිනා සපුන් වැනි
දුඹුරු පටු මාවත් ද
මරකතමිණි පැහැති කෙත්බිම ද

එබිම් කඩ මැද වීය
තවමත් නිරුපද්‍රිතව
සියවස් ගණනක් පටන්
හුදු ජන සරතැස නිවූ
ඒ ඉපැරැණි අම්බලම .

එසැණ සිහිවුණි මට
සොයාගත යුතු බව
අහස හා එදවස
පයුරුපාසන කළ
ඒ විසල් කුඹුක් ගස

අහා.....එය දිටිමි මම
කන්දෙ සිට බලන විට
කුඩාවී පෙනුණි එය
කෙන්දක් තරමට ම

එහෙත් නොදුටුවෙමි මම
එ ගස පාමුළ තිබූ
සඳක් සේ වටකුරු
ඒ කුඩා කුඹුකෙ ළිඳ

වීසිකොට සීතලම දිය ටික
ගණන් කරමින් තුනට
බියවී සීතට ගැහෙන
කුඩා මගෙ හිස මතට
"ආයුබෝ" කියා
පළමු වතුර වත්කරපු
අප්පච්චත් නෑ එතන........
View Poem