වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2025 අගෝස්තු කලාපය

ඉසිඹුවට පෙර මතක සිතිවිලි........

ගිලන් නෙත් දැක දහස් ගණනින්
ලවන් පෙති මත සිනහ තබමින්
එළියෙ අඳුරෙහි දෙපා තබමින්
ගිලන් හල් තුල සදා සරමින්.

ප්‍රේමයක පල නෙතට දකිමින්
ළපටි මල් පුබුදුවා තබමින්
දෙමාපිය මුව සිනහ දකිමින්
ගෙවුනු කාලය සිතට ගනිමින්.

විකල් වූ මන හඳුන ගනිමින්
පියවි ලොව වෙත ඔවුන් යවමින්
ජීවිතය ජය ගන්න සෙනෙහෙන්
සහය දුන් හැටි සිතමි සතුටින්.

සුව සදා නෙත් දහස් ගණනින්
සිනාසෙන හැටි නෙතින් සතුටින්
දිනන්නට ලොව දසත දකිමින්
උදව් කළ හැටි සිතට ගනිමින්.

බිඳුනු අත් පා එකට තබමින්
දෙරණ මත යළි සරණ විලසින්
දිවිය ඔවුනගෙ යළිත් සදමින්
බලා සිටියෙමි සතුට විඳිමින්.

කෙළි බිමේ නෙක දිනුම් ලබමින්
රෝගි වූ සඳ සුසුම් හෙලමින්
අත දි දී මඟ නිදොස් කරමින්
පිහිට වූ බව සිතමි සතුටින්.

පටන් ගත් පසු නැවතුමක් ඇත
හොඳින් කල පසු පැවතුමක් ඇත
ජීවිතය තුල සහනයක් ඇත
ඉසිඹුවට පෙර මතකයක් ඇත.
View Poem