කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

2025 අගෝස්තු කලාපය

සොයමි මම

සොයන්නට සොයන්නට
පිටත ඇති ලොවක් ගැන
නිමක් නැති ලොවක් ගැන
වෙහෙසකර වැඩක් බව
දැනේ මට හැඟේ මට

තමා තුළ ඇති ලොවක්
නිමාවක් ඇති බවක්
සොයන්නට හැකි බවක්
දැනේ මට හැඟේ මට

දැහැන් ගත වෙලා මම
සොයමි මම
සොයමි මම

සහිත වූ ජීවයක්
සහිත වූ අඟ පසඟ
නිරන්තර වෙනස්වන
රූපයක් ක්‍රියාත්මක
පවතිමින් ඇති බවක්
දැනේ මට හැඟේ මට

උණුසුම සහිත වූ
දහනයට ලක්වන
ලක්වන වයස්ගත
රූපයක් ඇති බවක්
දැනේ මට හැඟේ මට

ක්‍රියාත්මක ශක්තිය
බලාත්මක ශක්තිය
සිත මගින් වන බවක්
දැනේ මට හැඟේ මට

සිතුවිළි නිරන්තර
ඇති ව නැති වන බවත්
දැනේ මට හැඟේ මට

සිතක් පවතින්නට
විවිධ වූ සිතුවිළි
අවැසි බව නිරතුරු
දැනේ මට හැඟේ මට

වෙනස්වන රුපයත්
වෙනස්වන සිතුවිළිත්
ක්‍රියාවලියක් පමණි
කෙනෙකු නැත ස්ථිර
තුළ ක්‍රියාවලියක

එය එසේ වේ නම්
කෙනෙකු වේද මම නමින්
සොයා සොයා බැලීමට ……

Photo Credit Gabor Kozmon
View Poem