නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

2025 අගෝස්තු කලාපය

නුබ ගැබක සිරි

සිසරයේ කටුක වූ හිම පියැලි මියැදී යන
මුත් සීත රැඳුණූ
වැසි වහී යන්ට සෝදා සකල ලෝකය යලි
නොඑන ලෙසි දරුණූ
සුළඟ විත් ආරෝව කිව් ගස් වැල් ද උදුරා
අතු ද බිඳ වැටුනූ
ගගන දුරු පැහැ කුළෙන් වැසි දහවලද අඳුරේ
නිල නොදුටු, වැසුනූ

ඉරෙන කුළකින් හොරෙන් පැන, දඟ කරන් පැමිණී,
අඳිමින් සිත්තමක්
දිදුල කිරණක් රඟන යස, දිය බිංඳු මත්තේ,
මවන් දේදුන්නක්
තුහින වදිනා කව්ළු පත, සීතලෙන් ගැහෙනා,
මුදු නොපෙනූ සොවක්
විසිර පිණි තව තවත් නැටු, පෙමටම තුරුළු වී,
එ'මගුල් සක්වලක්

විටෙක රළු වී විටෙක මුදු, වෙමින් හඬනා නුබ,
නොනවතින ගමනක
ඉපල් අතු නැමි නැමී පිස, දමන්නේ කඳුළැලි,
නොකර සරදම් නෙක
හොරෙන් ආ කිරණ හංඟා, වළාකුල අණ්ඩය,
දමා වැසූ එ'ලක
පැහැර ගෙන දුල් දේදුන්න, අනෙ ගියේ සැඟවී.
දැවෙයි හද සොවක.

රළුව පැමිණෙන කැටිති පොඩි, සිපගන්න මිහි මව,
දරාගෙන හැම විට
උරා ගනිමින් සිරුර වෙත තෙත බරිත වෙනකම්
උහුල බර කැටි කොට
බැරිම වූ තැන දිය කඩිති සාදා සෙල් වටින්
මුල් යටින් අරුමෙට
නදී රඟ දෙන කොමළියක් තනයි අවසන නිත
සුන්දර වු, සැමහට

කඳුළු වගුරා අහස නිල් නිලත් හංඟා හුන්
බිඳලන් කඩතුරා
පිපුණ කහ මලට ඉඩ දී මිදුණු දිය කඩිති ද
හෙමිහිට දියකරා
දියව යන හිම ඟගට පැන ගිලි ගිලී රැළිමත
ඉවුරේ දඟකරා
සඳක අඩ හැඩ දේදුන්න පාට හතකින් ගැබ
යලි සිත්තම්කරා.
View Poem