මල්ලිකා කුමාරසිංහ බදුල්ල

2025 අගෝස්තු කලාපය

පුරිස දම් සාරථී ගුණය නමදිමි බැතින්

බුදුන් මරවා තමන් බුදු බව
ලබන්නට දෙව්දත් .විසින්
නුදුන් අබරණ නිසා සසරේ
පැවත එන ලෝබයෙ ඇසින්
මුදුන් වූ පෙර පටන් වෛරය
හදේ අසුරා ගෙන රොසින්
මිදුන් නැත ගල් පෙරලලා වත්
අහෝ පව මිනිසත් වෙසින්

එදා තව බියකරු බවක් දුන්
සිතුවමක් මනසේ ඇඳන්
යොදා නාලාගිරිය වරනිඳු
දිදී වදහිංසා බැඳන්
මුදා රා කල සතක් පොවමින්
බමන මත හිස මත රඳන්
සදා බුදුමිණ වඩින පෙර මග
යැව් රුදුරු බව සිත විදන්

සීත සඳුනින් සුවය සඳනා
කාරුණික මහසතානෝ
මෑත මිහිකත සනස සනසා
වඩිති ලොව සිරි මතානෝ
බීත කරවන සියලු දන මන
මතැඟ වරනිඳු පුතානෝ
ඈත දෙරනත පලහ පලගා
දුවති රළු ඇසිවතානෝ
සෙනේ බර බව ලොවට පෙන්වා
දයාබර නෙත් හදාරා
පෙනේ මෑතින් වඩිනයුරු බුදු
ලොවිඳු කත් මිණ මදාරා
විනේ කරමින් සියළු දනමන
බියත් සැකයත් වදාරා
අනේ යැයි දහසකුත් පවසන
ගිජිඳු එයි ගිණි විදාරා

මාලියෙන් මුදු සුවඳ විහිදන
පියුම් ගැවසෙන විලක් සේ
නාලියක සේ සමිඳූ වඩිතෙයී
රැස් විදා ඉඳු පිලක් සේ
ධූලියෙන් ගත නහව නහවා
ගුගුරවා මේ කුලක් සේ
දෑලියෙන් රුදු බමන මත් වූ
කනෙරු එයි කලු ගලක්සේ

එබු එබූ සිරි පා සිඹින්නට
පියුම් පිපෙනා විලාසේ
විභු විභූෂණ මහිමි වඩිතෙයි
රුවන් සක්මන විලාසේ
තැබු තැබූපය පොළව දෙදරා
රකුසු පා ගැටි විලාසේ
ලැබු ලැබු මත් සොළොස් රා කළ
පූ ගිජිඳු එන විලාසේ

බුදු අසිරි සිරි දකින රිසියෙන්
මගට බට ඉතිරියකගේ
රුදු වෙසින් එන වරනිඳුන් දැක
සියොළඟම සලිතවගියේ
මිදුනි උකුලෙන් කුඩා බිළිඳුන්
සැමගෙ ඇස් ඒ දෙස වියේ
වැදුණු බිය නැත පෙරට
එන්නට
කිසිවෙකුට දිරි සැපයුයේ

අසරනව සිටි බිළිඳු නෙත් බුදු
සමිඳු දෙස ඇත එල්ල වී
රොසව ඇති රුදු මතඟ බැල්මද
ඒ දෙසම විය ලොල්ල වී
නසන බිය සැක ගොයුම් ගොත් රුව
රැඳුනි රිවි රැස දැල්ලවී
දසුන මනරම් එයම විය ලොව
සියලු දන ඇත මෙල්ලවී

අඳුරු පර්වතයකට සම වු
පෙරලෙමින් එන කඩි මුඩී
පඳුරු ගස් ගල් තලා දමමින්
කනෙරු දිව එයි හැඩි දැඩී
ඉඳුරු පිළි රූ නිබඳ පරයන
කාන්තිය දී වැඩි වැඩී
කිඳුරු නාද කල සේක වට පිට
දනන් වෙත සිටි මැඩි මැඩී

ඇත් රජුනි නුඹ මා සමග මිස
බිළිඳු හා ගනු දෙනු නැතී
මත් රකූසු නෙත් එදෙස නොහෙලනු
මෙත් සිතම පෙරමුණ ඇතී
සිත් පහන් කල මෙත් වදන් විත්
වරනිඳුන් ලඟ රැව් දෙතී
සත් පුරිස දම් සාරතී බුදු පා කමල ඇතු නමදිති
View Poem