ලුෂානි දමයන්ති කැකිරාව

2025 අගෝස්තු කලාපය

පාලුයි මහ ගෙය

හිරු නැගී එන නමුත් සතුටින් දිනයක පැහැබර
⁣දැනවෙනා පාලුවට අඳුරයි මුසු වුනෙ හැමවර
හද සෙනේ ගලන මුත් ඉන්නෙමි කඳුළැලි සිරකර
දරු පැටව් ගිහින් දුර ඈතට මහ ගෙය අතහැර

ගෙමිඳුළම පුරා දුව පනිමින් දඟ කල සෙනිහස
විහිඳවා නිවස බැබළුනෙ ⁣පුන් සඳ මෙන් පුරපස
⁣⁣දරුවනේ නුඹල තුරුළට ගෙන අත ගා පොඩි හිස
කිව් කතා තවම මතක ඇද්ද අම රස ඉස ඉස

ගහ වැලේ යසට පල දරමින් බර වූ අතු ඉති
⁣⁣නිකරුනේ හිඳියි ඉහළට ගොස් වෙනදා වගෙ නැති
ගී රසේ බෙදුව කුරුළු කොබෙයි සොයම්න් වෙන පැති
ඉගිළිලා ගිහින් දුර ඈතට උන් හට දුක ඇති

පිපි මලින් එකලු වී දසතෙන් පැතුරූ සුසුවඳ
අද නැතේ කිමද නොදැනේ නළ නොගෙනෙයි සිහිළද
සමනලුන් රංචු නුඹලා වගෙ නැටු හැටි මතකද
⁣ඒ උන්ගෙ සොඳුරු ලොව සැරසුවෙ දරුවනි නුඹලද

හැදු වැඩූ ළමුන් හැදි ඇඟලුම් මහ ගෙයි තුල දැක
හිද මෙසේ තනිව ගෙවමින් දිවි නෑ කිසි සතුටක
නුඹලගේ සිතට දැනුනොත් මව් සෙනෙහස දවසක
පැමිණිලා යන්න ඒ ඇති මට මිය යන මොහොතක
View Poem