ධනුෂ්ක ඉඳුනිල් දික්හේනගේ ඇඹිලිපිටිය

2025 අගෝස්තු කලාපය

තිස් පස් පිඩක් ඉහින්නට ඉතුරු වේවිද කවුරු

රස ඉහුන පෙම එක්ක පෙති සුවඳ විහිදිච්ච
පිස හමන නල වික්ක පිපි කැකුළු මල පිච්ච
විස නොදැන පිනි රැක්ක උමතුවක පැටලිච්ච
ඇස මිරිඟු දිය දැක්ක හිතලුවකි සැනසිච්ච

අත්සනින් නොදුන්නට ඔප්පුවක දිවුරලා
වත්කමින් බිඳක් නැත සින්නවම පවරලා
ලත්සැනින් මිටෙන් හල රොන් රසය පුරවලා
ගෙත්තමින් එකින් එක මල් මදිර යයි පලා

පිදුව පෙම රස බලා විඳ වියරු පහසකට
තැළුව පෙති විසි කළා නුඹ මිතුරු බිඟු කැළට
පැතුව ලොව කිමිදිලා නෙළු තඹුරු පුදසුනට
පරව ගියෙ මැලවිලා වැද වගුරු දිය යටට

ඇස් පියක් ගැහෙන්නට බැරුව වෑවෙන අයුරු
හිස් පිටක් ඉරන්නට වෙතිද බාධක පවුරු
තිස් පැයක් ගෙවන්නට නුඹට ජීවය පැවරු
තිස් පස් පිඩක් ඉහින්නට ඉතුරු වේවිද කවුරු


ඇඹිලිපිටිය

Photo Credit: Strauss Western
View Poem