චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2025 අගෝස්තු කලාපය

ප්‍රේමය යනු....

ප්‍රේමය යනු
රාගයට ඇන්දවූ ඇඳුම කි
ඒ ළදරුවන් පටලාගෙන
උන්ට දුක් දී
කවීන් ලවා කව් ගී
ලියා ගැනුමටය

රාගයයි සත්‍ය ය
එයයි ඇත්තේ සැම තැන
එය ඇතැයි දක්වනු නොකැමති
සඟවන්න රිසි වෙති
උත්සුක වෙති

මනරම් සියුම් සළු පටකි
ප්‍රේමය නමින් උන්ට
රාගයේ නිරුවත වසා ගන්නට

කැඩපත ඉදිරියේ
ප්‍රේමයේ සළුව ඇඳ
නග්න රාගය නොදැක
අප දෙස ම බලා උද්දාමයෙන්
උත්තරීතර ප්‍රේමයකට
නෙක කව් ගී බඳිමු

අප ම ඒ ගී ගයමින්
මත්ව මදිරා රසයෙන්
අතර මං වෙමු ලෝකයක
ප්‍රේමයේ නාමයෙන්.

එහෙත් ලද විට
එක ම මොහොතක්
නිරුවත් රාගයට
ප්‍රේමයේ සළු පිළි උනා
විසිකර දමා සී සී කඩ
සත්‍ය ය වූ රාගය
බදා වැලඳගන
එහි ගිලී නොසැනහෙමු ද
අපි

විටෙක අප ම
ඒ සළු⁣ හැඳ⁣ගෙන
ලොවට පෙන්වා
ලෝකයත් මුළා කර
මුළාවේ වැටෙමු අප ම

විටෙන අයාලේ සුළඟට යන
ප්‍රේම සළුවක් දැක
හඹා ගොස්
පැටලෙමු
එයයි ලෝකය
අපට අන්දන
ප්‍රේමයේ ඇන්දිල්ල

සත්‍ය ය වූ නග්න රාගය
සිත් පොකුණ දිය යට බව
දැන සිටියත්
ප්‍රේමයේ සළු පටින්
එය වසාගෙන
මොහොත එළඹෙන තුරු
නොවෙ ද කල් යල් බලා
ඉන්නේ අපි

11-06-2025
View Poem