සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2025 ජුලි කලාපය

මදහස් ඔසුව

කැලේ කොලේ නොතලා එහෙ මෙහෙ දීව
ඇලේ දොලේ වැතිරී සිත් සේ නෑව
දළේ රුවට මිනිසුන් තොල ලෙව කෑව
වලේ අද්දරයි, ඇතු වෙමි වෙඩි කෑව

ඇඟේ ගනිනු බැරි තරමට වෙඩි පුපුරු
අඟේ ඉදන් කණ කයි මිනිසුන් නපුරු
යුගේ අහවරයි අලි මන්තර මැතුරූ
මගේ පපු තුරේ නපුරක් නෑ ඉතුරු

ඇතෙක් වාරු නැතිවී එරුනොත් හැලක
ඇතෙක් ඕනමයි ගොඩ ගනු මතු දිනක
කවක් ලියා තිබුනා පුස්කොල පොතක
දුවක් දුටිමි ඇතෙකුගෙ වෙර ඇති හිතක

සහ ලේ නෑයෝ පාවඩ මත පෙරහැරය
දෙවොලේ පුදබිමේ වැලලෙයි හේවිසිය
දවුලේ හඬට නටනා නෑ,හොර නඩය
පවුලේ එවුන් නපුරුයි කාටත් වැඩිය

ඇසක් පියන්නට ආසයි බිම වැතිර
සැකක් යලි නැගිට ගත හැකිදෝ එවර
කටක් හරිනු බෑ හකු පාඩා පුපුර
පෙලක් වුන් වලිගෙ සිඳලයි ඒ අතර

දෙපා සතුන් නුඹටත් ඔරවයි ඔන්න
සපා කාවි බෙහෙතක් නෑ මම දන්න
කපා ගන්න දළ යුග පෙර පණ යන්න
උපාසක නඬ ඇවිත් පෝ දා සිල් ගන්න

වනන්තරේ කූඩාරම් ගසාගෙන
නිරන්තරේ වැසි අහසත් ඉරාගෙන
දනක් එරේ බර උර මළු දරාගෙන
දුවක් ඇවිත් මඳහස ඔසු පුරාගෙන

නුදුරේ දිනක යනවා යන්නම යන්න
අඳුරේ කැලේ බෑ තව තව දුක් දෙන්න
කතරේ කොතැන දුටුවත් යලි හදුනන්න
සසරේ මතු මතුත් මඳහස රැක ගන්න

කොතෙක් වෙහෙසුනත් බෑ දුව ගොඩ ගන්න
මෙලෙක් හද දැවෙයි කෙලෙසින් පවසන්න
මතක් වනු පිනිස සසරේ හදුනන්න
වරක් තව වරක් දියනියේ හිනැහෙන්න
View Poem