පවිත්‍රි මෙන්ඩිස් මතුගම

2025 ජුලි කලාපය

පුටුවක් කතා කරයි

හිච්චා බාලාංසයේය
ඒකාට දෑත ද දෙපය ද ඇත
දෑස ද දෙසවන ද
වටපිටාවට යොමු වූ ගමන් ය

හයේ පංතියේ එකෙක් ඇත
හිච්චා ට ඇති ඒවාට අමතරව
ඌට වැඩෙන මොළයක් ද ඇත

උසස් පෙළ පන්තියේ
ඉන්නා එකා
හදවත පෙරටුවෙන් තබා
වැඩ හිඳී

කන්තෝරු කාමරයකට
උසස් වීමක් ලද
පුටු පුතෙක් ඇත
ඒකාට කකුල් අගට රෝද ඇත
සනුහරේ අනිත් උන් ගැන
වගක් නැත

ලෝකෙට ණය වී
ගෙදරට ගේන සෝපා පුතාද
අපේ එකෙකි
ඌ මහ අලසයෙකි
රෙදි පෙරෙදි පොරවා නිදන්නෙකි

හදවතට වැඩි ඉඩක්
දෙන එකා
අව්වට වැස්සට තෙමි තෙමී
උද්‍යානයක හෝ
පා පහර හා තැලුම් කකා
දූවිලි කුණු ඉඹ ඉඹ
රෝහලක සායනයේය

ආලින්දයක හුළං වැදි වැදී
ඉන්නා මා
නිතරම බර උසුලා ගත් ගමන් ය
දෑස හරි හැටි නොපෙනෙයි
දෙසවන නෑසෙයි
විටින් විට මතක හිත
මත සැරිසරයි
හාන්සි පුටුවක් කියා බොහෝ අය
අමතනු ඇසෙයි......




මතුගම
View Poem