කපිල කුමාර කාලිංග

2025 ජුනි කලාපය

සැදෑ සැරයටිය

දැඩි හිරු රැස ද
මහ වැසි ද
නොතකමින්
නිදිවරමින්
තබයි ඔහු
පියෙන් පිය

යටිපතුල් රිදුම් දෙයි
දුබලය මහලු ගත
දහදියෙන් තෙමී යයි
අව පැහැ ඇඳිවත

දිනෙන් දින ගත වෙයි
නැත කුසට
නිසි අහරක්
දැක ගැනුම ය
එකම අරමුණ
නිවන් මඟ දක්වන
රුවන් දොර

දුබල වුව ගත
සවිමත් ය සිත
තවත් දුර වුව
යා හැකියි

දුර පිහිටි මැදුරකි
කලකින් ලැබෙන
වරයෙකි
එහි ඇතුල් ගැබෙහි
ඇති ඒ රුවන් දොරටුව
දැක ගැනුම මහ පිනකි
කළ පව් දුරලන

සැඳෑ සමයයි මේ
සැරයටියට
වාරු වී යා යුතු ය
ඉතිරි කෙටි දුර ද
මඳ දුරක් ගිය කල
දකී ඔහු
ඉදිරියෙන් හා පසු පසින්
ඇදෙන දහයක් දහසක් දන
එක ම අරමුණින
සැදෑ සැරයටි සරණින

මියෙන්නට මොහොතකට
පෙර හෝ දුටහොත්
ඒ රුවන් දොරටුව
ළං වේලු නිවනට
අවබෝධයෙන් තොර වුව

වැටෙමින් නොවැටෙමින්
සැදෑ සැරයටි වාරුවෙන්
ඇදෙන අයුරු මහ සෙනඟ
අරුමයකි පුදුමයකි
ඉන්ද්‍රජාලයකි.
View Poem