නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

2025 ජුනි කලාපය

නැති රෝස මල

සාලය කෙලවර
දූවිල්ලෙන් වැසුනු
අමතක වුනු
මල් බඳුනක්

නැති රෝස මල
යලි එන තුරු
පුල පුලා බලා සිටින
ඒ පරණ මල් බඳුන

හිමිදිරියේ අම්මා ගෙනෙන
කෑම මේසය මත තැබෙන
තනි රෝස මල රැඳුන
ඒ සොදුරු මල් බඳුන

ළමා කලක නැවුම් සිතුවම්
මිදුලේ කල කෙළි සෙල්ලම්
දහසක් පියකරු මතකයන්
ඒ මල් බඳුනේ සනිටුහන්

ඉරිදා කැම මේසය
කරවල බැදුමේ රසය
දරුවන්ගේ කලබලය
නිරතුරු සිනා සාගරය

අම්මා ගිය දා පටන්
සිනා හඬ යලි නෑසුනි
තනි රෝස මල පරවුනි
මල් බඳුන හිස්වුනි

මල් බඳුන අහුලා
ළිං දියන් දොවලා
රෝස මල හොබලා
මේසය මැද තබලා

කවුළුව ඇරිය විට
අදුර පහවිය එළියට
අම්මා නැතිවී අදට
වසර විසක් හරියට
View Poem