ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

2025 මාර්තු කලාපය

ඩෙංගු මදුරුවෙක් කතා කරයි

බීල අප හට පුරුද්දක් නැහැ කිසිම දවසක මල් පැණී
ආස ලේ බිඳු වලට පමණයි ඊට උපතින් පත් වුණී
බෝම කල් තව ඉඳිමි අවටින් කොතෙක් ආවත් දුක් ගිනී
ජාතියට අපෙ වාසනාවන් පිනට මෙන් වැහි වැස්සුණී

ලොවම හෙල්ලූ ත්‍රස්ත බල මුළු මුලින් සිඳ බිඳ දැමු හැටී
කියනු ඇසුණා හොඳින් රස කර කමක් නෑ එය හරි වටී
ඒව බෑ මේ අපිත් සමඟින් බලමුදෝ උරෙ'නුර ගැටී
කන්න වෙන්නේ පොළොවෙ පස්මයි සතර ගාතෙන් ඇද වැටී

දඟර හදලා ගසාලා දුම් අපව වට්ටන්නට සැදූ
අයුරු සිහි වෙයි පලක් වූවද කාසි මල්ලට ඔබ පිදූ
වටේ දැල් ඇද නිදන්නට විය එයින් ලැබු සැනසුම හුදූ
තාවකාලික එකක් වූ බව නොදැනුණිද සිහිනයෙනුදූ

රූප පෙට්ටිය ගුවන් විදුලිය වෙතට යොමු කළ විට සිත
වාසනාවන් අපේ ගැනමයි ඇසෙන්නේ ඉන් සැක නැත
බෝම පුංචියි නමුත් ඉහළයි වැඩ අතින් සහ වත ගොත
මේ කපේ පවතින තුරාවට රැහේ නම පවතිනු ඇත

මහා සාගර වගේ ජල කඳ ඇවැසි නැහැ අපෙ දිවියට
කුඩා කොළයක වතුර බිඳුවත් ගෙනෙයි සැනසුම පදමට
නිවාසය වෙත එළිය ගෙනෙනා මල් බඳුන් තුළ කදිමට
අපේ පරපුර තනා ගත හැකි පුදමි තුති දෙන සහයට

කෑම මේසයෙ කකුල් සතරට යටින් තැබු, ලෙස උඩුකුරූ
කූඹි උගුලක රැඳෙන දිය පොද සොයා එන්නෙමි නිරතුරූ
මේ වෙලාවේ යමක් කියනෙමි ඔබේ ගති ගුණ ගැන ගරූ
ඒව අප හට ලබා දෙන්නේ නොවිමසාමයි සුමිතුරූ

කෑව කෑවා කියා දෙස් දෙයි ඔඩොක්කුවෙ නයි දා ගෙන
කාගෙ වරදද සොයා බැලුවොත් කඳුළු බිඳු එයි දෑසින
දෑත වැනුවොත් තවත් අප හට තෑගි ලෙස ඩෙංගූ උණ
බෝම සතුටින් අරන් එන්නම් රසය හා ගුණ වෑහෙන
View Poem