ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

2025 මාර්තු කලාපය

දැනෙන පැවතුම

පුටුව හිස් බව පෙනෙනු දෑසට
එහෙත් ඉඳගෙනෙ ඉන්නෙ සැපයට
අහර පිසිනේ අනේ කාටද
බඳුන, පිසනය, පෙනේ සැමවිට,
හනික යන්නේ ඇයිද කඩයට?
බෙහෙත් තුන්ඩුව රවයි මාදෙස,
ඉදුනු පලතුරු බෙරිවි ඇත අද
මිරික දෙන්නේ ඉවත යන්නද?

අලුත් වසරට හැඩට ඉන්නට මිලදි ගත් කමිසයත් ඇඳ උඩ,
රථය ඇවිදින් පහළ මහලේ බලා ඉන්නව ගෙනියන්ට ඔබ,
රෝද පුටුවත් දොර ලඟම බල බලා ඉන්නව උසුල ගන්නට,
හීනෙන්ද මට පෙනෙන සිනහව
දෑස මා වෙත හැරී බලමින.

රටින් ගෙනනා රස කැවිලි ඔබෙ තොලේ රඳනට මුවට මගෙ අත.
එහෙත් නැහැ එය මිරික ගන්නේ පෙරදි මෙන් මගෙ ඇඟිලි පොඩිකර,
එදා එය මට රිදුනමුත් අද ආසනේ මට එය විඳින්නට,
ඔබේ ගත වත විහිදවන ඒ සුවඳ එයි සුලඟින්ම මා වෙත

සිරුර ගෙනගිය නමුත් ඉවතට
ඉතිරිව් ඇත ඔබේ පැවතුම,
නිහඬ හිටියත් දෙවසරක් තුල
ගැබුරු හඬ මගෙ සවණෙ නිතරම,
චිත්‍රයක් නිම කල විගස අනෙ
ගෙනෙයි ඔබෙ නෙත මානයට මම,
දනිමි ඔබ මගෙ කලා වැඩ දැක රහස් සතුටක් විඳිනු නිහඩව

කයක් රහිතව ඔබේ පැවතුම
ගෙනේ දිරියක් දිවි ගෙවන්නට,
එහෙත් හිමියනි එගැන නොසිතා යන්න ගමනේ ඉදිරියට ඔබ,
මමත් ලඟදිම ගමන යන්නට ඉන්න වග අනෙ කියනු කුමටද?
එවිට ඔබ පිටුපසව සිටගෙන රකින්නම් කම්කටොලු මගහැර.
View Poem