සුනීශා සෂී සමරවීර

2025 මාර්තු කලාපය

රාමසාන් උත්සවේ

හෙට නිවාඩු හෙට නිවාඩු රාමසාන් උත්සවේ
රට ඉඳි මුද්දරස්පලන් වලින් කෑම හැදෙන්නේ
අම්මයි නැන්දයි අක්කයි ගේ දොර අස් කරන්නේ
කොළ සැරසිලි මල් සැරසිලි තරු සැරසිලි දැමෙන්නේ

ගිය සුමානෙ අම්ම ගිහින් ලස්සන රෙදි ගෙනාවා
එහා ගෙදර ලලිතක්කා රැලි ගවුමක් මැහැව්වා
වේල් පොටක් හැඩ වැඩ කර මගෙ ඔලුවේ රැදෙව්වා
උස සපත්තු ටොක් ටොක් ගා බිම පොලවේ හැඬෙව්වා

පල්ලි ගොසින් ගෙදර පැමිණි අයිය, සීය, වාප්පා
තොප්පි දමා සුදු ඇඳගෙන කෝරානය අතැත්තා
පුංචි අපිව වටකරගෙන පුංචි දෙසුම් දෙසත්තා
ලොකු පිඟාන වටේ ඉඳන් කෑම කමුද අසත්තා

සුවඳ ගෙනා බුරියානිය බත් වලිනුයි හදන්නේ
කුකුල් මසුයි සම්බෝලයි රස කර කර කමින්නේ
ඊට පස්සෙ කෙසෙල් දමා වටලප්පම් ගෙනෙන්නේ
බඩ පුරවන් පුංචි ළමයි සෙල්ලමටයි දුවන්නේ


-පුංචි අපට කවි සිංදු
View Poem