රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2025 මාර්තු කලාපය

ආදරය එහෙමමයි රන් වගෙයි පෙරාපූ...

පොළොවකින් පැන නැගුණු
ගසක් වැනි ජීවිතය
බිඳී විසිරෙනු නිසැක
හැමූ විට මාරුතය
තුටින් ඇල්මෙන් ජීවයක්
පුරන මීවිතය
අන් යමක් ඇති ද තව
හැරෙන්නට ආදරය...

වේලි බැඳි හැකි නමුත්
යන මගක් කර හරස්
ගඟක් ගලනවා මයි
සිඳු කරා ඇති දුරස්
කවුරු කීවත් කොහොම
සෙනෙහසක් ගැන පරස්
උතුරු පැත්තට හැරී
කොම්පාසු වෙයි සිරස්...

ආ නමුත් බොහෝ දුර
එකම මග හිතුමතේ
යා යුතුය තව දුරක්
සෙනේ දරමින් හිතේ
කිව්වාට ඉරණමක්
ලියවිලා ඇති අතේ
පෙමට වෙන් වූ ඉඩක්
දැනුත් ඇත හදවතේ...

පලා පෙති රටා වැනි
ගල් කුලක නෙලාපූ
මැකී නැත අගේ ඇති
බිතු, සෙනේ උරාපූ
අපි අපේ නොවුනාට
අපි අපෙයි කියාපූ
ආදරය එහෙමමයි
රන් වගෙයි පෙරාපූ...

ලිහිණි වැලපුමක දුක
ගලද්දී දුර ඈත
උණුසුම් ම වදන්
පලවා හරිනු ඇත සීත
හොවා උරයේ මුහුණ
දෙනෙත් වී සමපාත
මතු මතුත් මේ ලෙසම
ගනිමි ඔබගේ දෑත!!

Phot Credit; Priscilla Du Preez
View Poem