අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2025 පෙබරවාරි කලාපය

ක්‍රිෂ්ණා මෙහෙම කියන්න ඇති

රහස් කියන කඳු අස්සේ මීදුම පුරවා

වලා පොටේ පාට හැඩට දේදුනු දවටා

ඔබේ පුරුදු උණුහුමටම ඇඟිලි ගනිනදා

යමුනාවේ පුරුදු තැනට එනවද රාධා


ලොවක් කියන දහස් කතා නොමියෙන හන්දා

අපේ සතුට අපි උකසට තියමුද කිසිදා

නියම් අනියමක් පෙමකට නොතිබෙන හන්දා

හුරුම පුරුදු සුව විඳින්න එනවද රාධා


අක්කා, මල්ලී කිව්වට ඔබ අපි පොඩිවුන් දා

ඔබේ රුවට වශී නොවෙද කවුරුන් කවදා

නොදැන නොවෙයි මම කිව්වේ ඔබ මගෙ හැමදා

හිනා වට්ටියක් අරගෙන එනවද රාධා
View Poem