අනුරාධා ගුණසේකර හොරණ

2024 නොවැම්බර් කලාපය

පාළුවට ගිය මහ ගෙදර

එදා සෙල්ලම් පිටියේ වෙස් ගත්
මහ ගෙදර මිදුලේ හැටී
දනක් උසකට වැවුණු තණකොළ
යටින් අපෙ පා පොඩි ඇතී
රංඩු සරුවල් සිනා සිරියෙන්
ගමේ රැවි පිළිරැව් දුනී
මහ ගෙදර අද පාළුවට ගිය
සොහොන් පිටියක වෙස් ගනී .....

එදා තුන් වේලක්ම සරි කල
දෙණියෙ කුඹුරේ වැවුණු හබරල
කොටන්නට බෑ මඩේ බැහැගෙන
සිදාදිය වෙත ගියයි දරු කැල
හැරපියා කූඩුවෙන් පියඹා
සිදාදියේ මාළිගා තැනුවට
ආවේ නෑ දරුවන්ගෙ සෙවණට
හුරුවුනේ මේ ගමේ සුවඳට ......

තනිවුනත් මහ ගෙදර කලකදි
දිනෙන් දින ලං වෙවි මහළු විය
කෙනෙක් ,තනිවෙයි සසර ගණුදෙණු
නිමා කරමින් කෙනෙක් යනකොට
දරුවෝ ගාවට නැවත ආවත්
පාලු ගෙයි ඇති තනිය හින්දම
මතකයන් පිරි ගමේ මහ ගෙයි
තමයි ඇත්තේ එකම සැකසුම ......

අම්මේ ......

කෑ කොස්සන් රංඩු සරුවල්
පිරුණු මහ ගෙයි දොරටු ඇරියම
අදත් , හැම තැන විසිර යන්නේ
එදා සුවඳින් පිරුණු මතකය
දුකක් ආවම දුවන් ආවේ
හොයාගෙන අම්මගේ උණුසුම
අනේ අම්මේ , ගමම පාළුයි
අම්ම ලොව හැර ගියපු දා සිට .......

හොරණ

Photo credit: Dominic Sansoni
View Poem