කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

2024 ඔක්තෝබර් කලාපය

සතුට වනසන මානය

විය කෙනෙකු මම නමින්
විය කෙනෙකු ඔබ නමින්
ඔබ සිතයි
මම සිතයි
සසඳ සසඳා සිතයි
මෙය නමින් මානයයි

ඔබ උසස් මා හට
ඔබ පහත මා හට
සමානයි මා ඔබ හට
විවිධයි මානය මෙලෙසට

රූප සොබාවය ද
පිහිටි අඟ පසඟද
සුවපත් භාවය ද
මුල්වේ මානය හට ගැනීමට

වත්කම් පොහොසත්කම් ද
ඇදහිලි විශ්වාස ආගම් ද
ගුණ නැණ බලය ද
කුල ගොත් කම් ද
දූ දරු පරම්පරාව ද
කරුණුය මානය වැඩි කිරීමට

අරක් ගත මාන සිතුවිළි
වද දෙයි සිතට නිරතුරු
දුරු කර ගත යුතුයි
එවන් සිතුවිළි
සිටීමට සතුටින් නිබඳව

ඔබ ඔබම විය යුතු බව
මම මමම විය යුතු බව
සිතීම වැදගත්
සෑම කල්හිම
View Poem