මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

2024 ඔක්තෝබර් කලාපය

කියව ගන්නම් මං....

දුකින් මුමුනන කඳුළු වැහි පොද
අඳුරෙ ළතවෙන අහස තනි කර
ඇවිත් පොළොවට හාදු දෙන හැටි
බලා ඉන්නම් මං

පිපෙන්නට හෙට උදේ අරුණට
සැදී උන් හිත වෙනස් කරගෙන
වතුරෙ පාවෙන රෝස කැකුලක්
ඇහිඳ ගන්නම් මං

හෙමින් ඇවිදින් මටත් නොදැනිම
හිතේ අහු මුළු වලට එබි එබි
නිහඬ සුසුමක් හෙලන හැටි ඔබ
අහන් ඉන්නම් මං

වදන් නැතිවද මුවත් ගොළු විද
ලියා ගන්නට නොහැකි කවි පද
රුවා ගත්තොත් ඔබේ හද තුල
කියව ගන්නම් මං


උතුරු කැලිෆෝර්නියාව
Photo credit ; Travis Grossen
View Poem