රංජනී කොස්තා වෙන්නප්පුව

2024 අගෝස්තු කලාපය

කැදළි කරා පියඹන............

කැදළි කරා පියඹන
රන් ගිරවු අතේ
තටුසලලා රඟඳෙන
සමනලුන් වෙතේ
බිම ඉසලා සරසන
මල් පියලි මතේ
ලියල එවන්නද තතු
කියවෙනා හිතේ,,,,

ගෙමිදුල ඇඳි හිරුගේ
රැස් කිරණ පුරා
රටා මවයි සෙවනැළි
සිත්තමක උරා
ගතහිරි දෙන සීතල
පවනකම නුරා
මඟ බලමින් ඉන්නම්
ඔබ වඩිනතුරා

සෙනෙහෙ පිරුණු සිත්තම්
රූ අඳින්නටා
වෙළුන දෑතෙ රැකවල්
නිති ලබන්නටා
සුව සිහිනෙක මල්ඵළ
නෙත විඳින්නටා
පැතුම දිනෙක හිමිකම්
හිත රඳන්නටා

වෙහෙස ගලන සිරුරෙන්
දාහය නිවෙන්න
හිතට සවිය දෙන්නම්
මතුදා දිනන්න
කැදැල්ලෙ රැඳි පැටවුන්
නිතිදා රකින්න
ජීවෙ පුරන්නම් මා
තනිකම මකන්න

Photo credit; Syed Ahmad
View Poem