ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

සමනල සඳෙස -15

දත යුතු කරුණු ගොමුව - 12
බඳ කිකිණිය වළව

279. සමනල සබඳ තව එකියක් ගැන නො ගැයූ
සුකොමළ ගතිය කිසි විටෙකත් මැන නො කියූ
දිය මල පුබුද මහ එළියෙන් පැන නැගුණූ
කවි මල පා කරමු වළවේ දැන කරුණූ

280. පැහැදුල් වළා ඇති මහ එළියේ තැන්න
සුවි-පුල් සමන් දෙවිදුගෙ අඩවිය මැන්න
දියවැල් එතී දැවටී වනපෙත් ගොන්න
සුර-තල් නදී වළවේ ඉපදුණු වැන්න

281. මහ එළියේ සුන්දර වට මිටියාවත වදුලූ
දිය බිඳු පෑහී එකිනෙක ගලා ඇදෙන පබලූ
නීල රැසින් බැබලෙන දිය පොකුණ විලස බුබුලූ
ඇදෙයි නොරැදි ඒ දිය කඳ ගඟක් ලෙසින් බැබලූ

282. කල්තොට - උඩවළවේ - පදලංගල මා මඩල
නකුළුගමුව - උස්වැට - තුන්කම රිදිය ද වටල
අගුණකොළපැලැස්සත් හා ඇඹිලිපිටිය සළෙල
මැගෙන් පිනා කෙත - හේනට බෝග දුන්න ලිහිල

283. උයන්ගස්තොටත් හම්බන්තොටත් ගිය මටත්
බලනට ඇති දෑ එමටයි නොගිය නම් බොටත්
උඩ සිට වළවේ කොමළිය ඇදෙන හැටි තවත්
සයුරෙ ගිලෙන තැන බල ගොස් අම්බලන්තොටත්

284. තෙද සමනල මගෙ සුමිතුර නුඹේ නුවන් හෙළා
බලනු මැනවි යන හැටි ඇය බද කිකිණිය සලා
දසුනින් මන බැඳෙන විලස කෙටි කර කවි කලා
කියනු මැනවි වළවේ ගඟ කොමළි නොකර මුළා

සමනලයා දුටු නදී කොමලිය-4
කැළණි සුරවරුවරිය 18



285. වැද - වැද පා කමල සම්බුදු රජාගේ
සිඹ - සිඹ ඔකඳ කළ සිත ලක් මෑණියන්ගේ
දිව - දිව ජනිත කරමින් නද තරංගේ
ඇද - බැද පබා කරවයි නෙත් දනන්ගේ

286. පොරවා නීල පැහැ ගත් යස පට සේලේ
සරසා බමන දිය සුළි තැන - තැන මාලේ
නළවා පද්දමින් ඉඟ - සුඟ යන තාලේ
වෙසෙසා නෙත නටයි නුඹෙ හද ළඟ කෝලේ

287. නිරතුරු සැපත සතුට ද ලක් මාතාව
විඳ තුරු ලතා කෙත් වතු දුන් පලදාව
පෙම්බර නදිය වළවේ සුවිනීතාව
තුටු වෙමි ගයා තීගේ ගුණ ගීතාව

288. සිහිලස හැම විට දි දී මද පවනෙ එතී
නන්වන සුදිල වන් දිය රැළි එකට ගෙතී
බඳිමින් වැටෙන වනමල් පත් පියලි පෙතී
දිගු වරලසක හැඩ මවමින් ගලයි රුතී

289. තැන - තැන දිය කෙළති සුදනෝ ඔකද වෙමින්
පැන - පැන ගසති දිය බුං රැළ ළමා වෙසින්
කැණ- කැණ ඉවුරු දෙපසින් ගෙන වැල්ල හෙමින්
අන - වින කරති මුදලට ලොබ බැඳි දුදනන්

290. නිල් මිණි පැහැ සලුව හද තුළ රුවා ගෙන
නිල් දිය රැළි නගා සුළගින් කවා ගෙන
නිල් නෙත් අයා නිලඹර දෙස බලා ගෙන
නිල් රොද මැදින් යන්නෙ ද නුඹ ගලා ගෙන

291. ගල්-පරවල හැපී විසිරෙන රිදී බිඳූ
නිල්-මිණි කැට කිදා සැගවෙයි මුතූ බදූ
රල්-රැලි නගා පෙරළී වැලි ඉවුරෙ කදූ
සල්-ලම් කරයි හඩමින් වා සුළිය හැදූ

292. ව ළ වේ සොදුරියේ නුඹ හරි හැඩකාරයි
නැළවේ සොබනියේ සිත නුඹෙ මනමාලයි
සැල වේ නිබද හදවත නුඹෙ දගකාරයි
ජය වේ නුඹට නුඹ යන මග ගම බාරයි
(මතු සම්බන්ධයි.)

2024.08.01
View Poem