තුෂාරි ජයසිංහ මහනුවර

2024 අගෝස්තු කලාපය

මැරූ සිහිනය

සීත හිරිකඩ මුවා කර මම
වසාගෙන රැකවරණයම දුන්නා
ළපැත්තට කන තියා බල බල
හුස්ම වේගය මැනල බැළුවා
කිරි හිනාවක් මෝරනා කළ
තුටින් ඉපිලී මලුත් පිපුණා
නුඹෙ කඳුළු බිඳු දවා හදවත
ලැව් ගින්න සේ සිරුරෙ දිව්වා

සිප් හලේ දුටු හපන්කම් නුඹේ
උදම් ඇනුමට වචන හෙව්වා
තුරුණු ඔය නෙතු කතා කළ හැටි
ඇස් කොනින් මේ මමත් දුටුවා
ජීවිතය උගනින්න යයි යළි
සරසවිය ආරාධනා කෙරුවා
මෙතෙක් පැටලැවි තිබූ අත මම
ලිහිල් කර නුඹ මුදාහැරියා

සොඳුරු සිහිනයට ගෙවැදී
පැතුම් මල් සුන්දරව පිපුණා
උදම් රළ විත් අහසටම නැග
ලෝකයම සුනු විසුණු කෙරුවා
සිතත් හූරා කොනිති ගසලා
හුදකලාවට දමා තිබුණා
මිනිස් වෙස් ගත් රුදුරු රකුසන්
බිදුණු සිත පාරවා තිබුණා

ජීවිතය සරසා සුවඳ දුන්
සිහින පැස ගිනි අරන් තිබුණා
කයට රිදවුම්, තැලුම්, සීරුම්
හොඳ කරන්නට බෙහෙත් තිබුණා
බිඳුණු හදවත් පාස්සන්නට
බැරිව දිව ඔසු පැරදි තිබුණා
දෑස්වල දිලෙනා කාන්තිය
සරවියෙ උන් මරා තිබුණා.


2024.07.19.
View Poem