දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2024 අගෝස්තු කලාපය

මුදල් වලට තියෙනා 'නම්'...!

රටින් රටට වෙනස් වර්ග
වලින් මුදල් හඳුන්වනව...
මිටින් එ හල විහඟු වගෙයි
රඳන්නෙ නෑ ඉගිල්ලෙනව...
වටින් පිටින් හොයල බැලුව
කලදි නම්ද වෙනස්වෙනව...
තුටින් මෙහිදි සඳහන් කර
ඔන්න මමත් උගන්වනව...

පුද බිමකදි පින්කැටයට
දාන කලදි 'පඬුරු' කියා...
සැදහැතියෝ සාධුකාර දෙයි
දෑතද නලලෙ තියා...
හදකට තව හදක් බැඳෙන
මගුලෙදි 'දෑවැද්ද' සොයා...
වද දෙන අය තවම ඇතේ
ඇසෙනව, දුක නැද්ද මෙයා...

මගුල හබක් වී කසාදෙ-දික්
වුන කල ගෙවනවාලු...
උගුලක් කියමින් 'නඩත්තු'
පව් කියලත් සිතෙනවාලු...
අගුලක රඟ පදින කලට
දැනේ කියා කියනවාලු...
නගුල නැතිව සී සෑමට
හැකිද යමෙක් අසනවාලු...

දිවි ගෙවන්න මදිවුන කල
මුදල් ඉල්ල ගන්නවෙනව...
සවියක් ලෙස ලැබුනත් එය
'ණයක්' කියා හැඳින්වෙනව...
අවියක් ඇනගත්ත වගෙයි,
පොළියත් තව එකතුවෙනව...
කවියට නැගුවත් මෙලෙසින්
අන්තිමෙ බංකොලොත්වෙනව...

උපයන විට අප මුදලක්,
රජය විසින් කපාගනී...
අපලෙ කියා බැණ බැණ ඒ
'බදු' ගෙවන්නෙ දුකින් මෙනී...
අප වරදක් කළොත් එහෙම
'දඩය' ලෙසින් ලබාගනී...
නොපතන් මේ වගෙ කරදර,
හඬයි දනෝ දුකම දැනී...

වැඩ කරලා උපයන්නේ
සොච්චම් 'වේතන' යි දනෝ...
කඩයට ගියවිට දියවෙයි
මාසෙ 'පඩිය' දුකක් එනෝ...
ඉඩ දී වයසට යාමට
'විශ්‍රාමික වැටුප' දෙනෝ...
බඩ දනවලු ඇහෙනා විට
කන්ට නැතිව මැරිල යනෝ...

'පොකට් මනී' අප ලැබුවේ
කුඩා කලදි හරි සතුටින්...
ටිකට් අරං බයස්කෝප්
බැලුවාලුනෙ ලොකු කපටින්...
පිකට් කරත් එපා කියා ,
බල කර දෙනවලු අර 'ටින්'...
රොකට් එකක් අරං යමුද හඳට,
මිදෙන්නට ගැහැටින්...
View Poem