ශර්මිලා බන්දුනි දන්වත්ත

2024 ජුලි කලාපය

රාත්‍රිය සහ ප්‍රේමය.......

රාත්‍රිය මේ තරම් සොඳුරු බව නොදැන සිටියෙමි
ඔබ නික්ම ගිය දින සිට
ගෙවා දැමූ නිදි වර්ජිත රාත්‍රීන්
ගණනාවකට පසුව
හඳුනාගතිමි............
රාත්‍රිය නම් මේ යැයි

කැකුළක් ඇහැ අරින හඬ
කෘමියෙකුගේ සුසුමක් වැදී
රොන් සුණු සැලෙනා හඬ
නටුවකට බර වැඩි නිසා
මලක් ගිලිහී වැටෙන හඬ
ඒ තමයි රාත්‍රිය

කණාමැදිරි එළිවලට ඉඩ දෙමින්
තරු පොකුරු නිවෙනා බව
ඝන අඳුරු රැය විඳින්නට
වලා පෙළ මැද
සඳ සැඟවෙනා බව
ගඟ සිය ගැල්ම නවතා
දිය කඳුරේ සියුම් කෙඳිරියට
කන් දෙමින් සිටින බව
ඒ තමයි රාත්‍රිය

හඳුනා ගතිමි අවසන
ලොව මිහිරිතම හැඟුම
ප්‍රේමයම නොවන බව
ප්‍රේමය.......
පුංචි සුදු මලක
තණ පතක් අග රැඳි
පිනි කැටයක වුව
සැඟවිලා ඇති බව

Photo credit; Timothée Duran
View Poem