නිලූකා පතිරණ ඇඹිලිපිටිය

2024 ජුලි කලාපය

මේ කඳුළු බර වැඩියි

නුඹ තරම් ආදරේ දුන්නෙ නෑ කවුරුවත්
අප්පච්ච් රිදෙනවා හදවතේ සියුම් තැන්
යන්න ගිය දා ඉඳන් මා දමා නුඹ දුරක්
මේ කඳුළු බර වැඩියි දැනෙනවා සුසුමටත්

ආදරේ තියෙනවා සිත් පුරා පොඳි බැඳන්
මිලක් නෑ විකිණෙනවා හරි ලාභ තැන්වලත්
පෙම් කළත් ඒ හිතට නුඹෙ පෙමට සම කරන්
ඔහු ගියා හදවතේ නොමියෙනා දුක තියන්

සාක්ෂිත් නොමැතිව ම ගොනු කරපු කතාවක්
උසාවියෙ කෙළවරක ඉකි බින්ඳා කාලයක්
පෙම් කරපු වරද ළඟ නැති නිසා සමාවක්
පිටව යමි ප්‍රේමයේ මළගමට සුදු ඇදන්

දිලිසෙනා හැම තැනම නැති නිසා මැණික් ගල්
අහුලන්න සිදුවුණා ගොමරිටි ද කබොක් ගල්
අනේ නුඹ හිටියා නම් අද වගේ දිනෙක මං
බදාගෙන අඬනවා මේ කඳුළු නිවෙනකම්

අදින් පසු පියනඟමි යඳම් ලා හදවතත්
වෙර සිඳුණු දෙපා යළි පිරිමඳිමි හෙට ඉඳන්
සඳ ඇවිත් ආකාසෙ කළුවරට එබෙනකම්
අප්පච්ච් අනේ ..නුඹ යන්නෙපා නිවන් නම්
View Poem